Tuesday, June 19, 2018

තාරුණ්‍යයේ ආදරය හා ලිංගිකත්වය.

                                     

                     





           ලෝකයේ ඕනෑම රටක සංවර්ධනය කෙරෙහි අතිශය වැදගත් වූ පිරිසක්වන්නේ තාරුණ්‍යයි. යමෙකු තරුණ වියට පා තැබීමත් සමඟ තමා අමුතු ලෝකයට පා තැබුවා වැනි හැඟීමක් ඔහුට හෝ ඇයට දැනෙන්ට පටන් ගනියි. මන්ද යත් ඔහුගේ හෝ ඇයගේ අඟපසඟ මීට පෙර නොවූ විරූ ආකාරයට වෙනස්වන්නට පටන් ගනී. ඒ සමඟම වෙනදා නොදැනුන හැඟීම් සහ දැනීම් නිසා හදවත ඉපිලුම් දෙයි. 

                      මේ සියල්ල යමෙකු තාරුණ්‍යයට පා තැබීමත් සමඟ සිදුවන අනිවාර්යය වූ විපර්යාසයන්ය. එහෙත් මෙකී විපර්යාසයන් හමුවේ  ඇතැම් විට වර්තමාන තාරුණ්‍යය ඒවා අවිඥාණිකව අවබෝධ කරගැනීමත් සමඟ තාරුණ්‍යයේ සුන්දරත්වය විඳීමට වඩා ඔවුන්ට සිදුවන්නේ සිය ජීවිත කාලයම නිකරුණේ නාස්ති කර ගැනීමටය. තාරුණ්‍යයේ සිදුවන මෙකී විපර්යාසයන් හමුවේ පිරිමියා ස්ත්‍රියටත්, ස්ත්‍රිය පිරිමියාටත් ඇලුම් කිරීම ජීව විද්‍යාත්මක සත්‍යතාවකි. එහි දී ඇතැමුන් එය ආදරයක් ලෙසත්, තවත් පිරිසක් එය ලිංගිකත්වයට පමණක් සීමා වූවක් ලෙසත් ගොඩනගාගන්නා බැවින් මෙකී ආදර සබඳතාවයන් නිසා ජීවිතය ගොඩනැගෙන මෙන්ම විනාශ වී යන අවස්ථා ද ඕනෑ තරම් වේ.

                           වර්තමානය විද්‍යුත් මාධ්‍ය හා තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙකී ආදරය ද  අදවන විට හදවත හා සම්බන්ධ නොවන තාක්ෂණික මෙවලම් ඔස්සේ ගොඩනැගෙන හැඟීමක් බවට පරිවර්තනය කර හමාරය. බොහෝ විට ෆේස්බුක් වැනි තාරුණ්‍යය තදින් වැළඳගෙන ඇති මාධ්‍ය මඟින් ගොඩනගා ගනු ලබන අවිඥාණික සබඳතාවක් නිසාවෙන් වර්තමාන තාරුණ්‍යය තුළ ආදරය යන්න හුදෙක් ලිංගිකත්වයටම පමණක් සීමා වූවක් බවට පත්ව තිබේ. දවසක් දෙකක් කතා කළ පමණින් තවකෙකු ඉදිරියේ නිරුවත් වෙමින් කාමරයකට ගොස් පවිත්‍රත්වය කෙලෙසා ගැනීමට තරම් වූ ලිංගික මානසිකත්වයක් අදවන විට ලාංකීය තරුණියන්ගේ හැසිරීමෙහි පරිවර්තනයක් ද දක්නට ලැබේ.

                         කෙසේ වුව ද වර්තමාන තාරුණ්‍යයේ ආදරය යන පිවිතුරු හැඟීම හුදෙක් ලිංගිකත්වයට පමණක් සීමා වූවක් බවට පත්ව ඇතිවා සේම වර්තමාන විද්‍යුත් තාක්ෂණික මාධ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය ද එයට හේතුවක් වී තිබේ. කොලොම්බියාවේ ඇමන්ඩා නම් තරුණිය ෆේස්බුක් මාධ්‍යයෙන් ගොඩනගාගනු ලබන ආදරය හමුවේ තම ජීවිතය විනාශ කරගත් එකම යුවතිය නොවන තරමට අද මෙකී මාධ්‍ය හමුවේ ආදරය ලිංගිකත්වයට පරිවර්තනය කර තිබේ.

               ඉපැරණි ලාංකික සමාජ සංස්කෘතිය තුළ ආදරය යනු උතුම් හැඟීමකි. ලිංගිකත්වය යනු එහි අංශුවක් පමණකි. ඒ නිසාවෙන් නූතන ලෝකයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව හමුවෙ එදාට වඩා බුද්ධිමත් පිරිසක් වූ තාරුණ්‍යය තම ගෞරවාන්විත බව සුරැකෙන ලෙස තම ආදර සබඳතා ගොඩනගාගත යුතු වූවා සේම එය පවත්වා ගත යුතුය. එසේ නොමැති නම් ආලය යන්න ගැලපිල්ලක් නැති තැනකට ඇලපිල්ලක් දා ගත්තම සිදුවන පැටලිල්ලක් යන කියමන සත්‍යයක් බවට පත් වේ.

               ඒ නිසාවෙන් ආදරය හා ලිංගිකත්වය යනු කිසිවිටෙක එකක් නොවන බවත් සත්‍ය ආදරය තුළ ලිංගිකත්වය යනු ආදරයේ කොටසක් විනා ආදරයේ සමස්තය නොවන බවත් නිසි වටහා ගැනීමෙන් යුතුව තාරුණ්‍යය මෙම ආදර මාවතට පා තැබිය යුතුය.

1 comment:

                                                  photo by: Tharika Sadamini