Friday, June 8, 2018

රටක සංවර්ධනය යනු තාක්ෂණික දියුණුවම පමණක් ද ?


   

       







                    ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස කාගෙත් පිළිගැනීමට ලක් වූ ශී‍්‍ර ලංකාව නම් වූ මේ කුඩා දූපත ලෝකය තුළ තවමත් පිළිගැනීමට ලක් වන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙනි. සාම්ප‍්‍රදායික ලාංකීයත්වය සමඟ නූතන ලංකාව සාපේක්ෂව සංසංදනය කිරීමේ දී ම පැවති තත්ත්වයට වඩා විශාල වශයෙන් විවිධ අංශයන් ඔස්සේ අප රට දැන් දැන් ඉදිරියට පැමිණෙමින් සිටින බව කාගෙත් පිළිගැනීමට ලක් වූවකි. අතීතයේ තිබූ ඉතා දුර්වල තොරතුරු හුවමාරු කර ගැනීමේ ක‍්‍රියාවලීන් වෙනුවට විද්‍යාව හා තාක්ෂණික පුනරුදයත් සමග උරෙන් උර ගැටෙමින් හා තාක්ෂණික   සංවර්ධන විධි ක‍්‍රමයන් සමග හරඹ කරමින් කාර්යක්ෂම ලෙස තම සන්නිවේදන කි‍්‍රයාවලීන් සාර්ථකත්වය කරා  රැගෙන යාමට  වර්තමානයවන විට ලංකාවට ද සමර්ථ බවක් ලැබී ඇත. 
             
               රූපවාහිනිය, ගුවන් විදුලිය වැනි විද්‍යුත් ජනමාධ්‍ය හරහා  කෙරෙන අන්තර්ජාල භාවිතය හා ෆේස් බුක් ආදී ජාලගත මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් ක්ෂණයෙන් ලෝකයේ  සියලුම තොරතුරු දැන ගැනීමට, ඒවාට ප‍්‍රතිචාර දැක්වීමට පමණක් නොව ඍජුව තම මතවාද ඉදිරිපත් කිරීමට හැකි මතවාදීමය වේදිකාවක් ද මේ ඔස්සේ නිර්මාණය වී හමාරය. ඒ තුළින් විශේෂයෙන් ලාංකීය තාරුණ්‍යයට ලෝකය තුළ හුදකලාව විසීමට ඇති මංපෙත් අවම කරමින් තරගකාරී ලෙස ලෝකයට විවෘත වීමට ඉඩකඩ සැලසී ඇත. එය බැලූ බැල්මට ලාංකීය සංවර්ධනයේ මුදුන් මල්කඩකි. නමුත් අපට පෙනෙන්නට , දකින්නට තරම් වූ මෙකී සංවර්ධනය සත්‍ය වශයෙන්ම අප රට තුළ සිදුවන්නා වූ සංවර්ධනයක් ද. එසේම මේ ඔස්සේ මිනිසාගේ හැගීම් , ආකල්ප , සාරධර්ම , තුළින් අප බලාපොරොත්තුවන සංවර්ධනය ඒ අයුරින්ම සිදුවී ඇති දැයි යන්න සැකයකි. 
     
           තාක්ෂණික අංශයෙන්  සීග‍්‍ර සංවර්ධනයක් අත්පත් කරගන්නා රටක් වුවත් සාරධර්ම අතින් එය පිරිහීමට ලක්වන්නේ නම් එවැනි රටක් සත්‍ය වශයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි පැවසීමට වඩා එය පරිහානිය කරා ගමන් කරන රටක් ලෙස දැක්වීමෙහි වරදක් නැත. එයට ප‍්‍රබල හේතුවක්වන්නේ අප වර්තමාන ලංකාව අතීතයට වඩා දියුණු වූවක් යැයි  වසනවා නම් මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ මෙතරම් පිරිහීමක් දක්නට  දක්නට ලැබෙන්නේ ඇයි දැයි අපටම සිතීමය.
       
         ශී‍්‍ර ලාංකික සංස්කෘතික අනන්‍යතාවයේ පිළිඹිබුවක් ලෙස අප හදුනාගනු ලබන වන්නිල ඇත්තන් පවා දක්වන අන්දමට අප මෙලෙස පවසන තරම් සංවර්ධනයක් අත්පත් කරගෙන සිටින්නේ නම් පැරණි ලාංකික සමාජය තුළ නොතිබූ  අයුරින් වැඩිහිටි නිවාස , ළමා නිවාස අප රට තුළ වර්තමානයේ බිහි වී තිබෙන්නේ ඇයි දැයි යන්න  එතුමා ද ඉදිරිපත් කරන ප‍්‍රශ්නයකි.

          සත්‍ය වශයෙන් ම මෙකී ප‍්‍රකාශය පිළිබදව  අපි මදක්  නැවතී සිතිය යුතු වෙමු. එතුමා පවසන අන්දමට මෙය ලාංකීය සැබෑ සංවර්ධනය ද ? තාක්ෂණික අතින් කෙතරම් සංවර්ධනය වු ජනගහනයක් සිටිය ද ආධ්‍යාත්මික අතින් පිරිහීමට පත් වු ජනතාවක් අප  රට තුළ ජීවත්වන්නේ නම් සත්‍ය වශයෙන්ම එය සැබෑ සංවර්ධනයක් නාෙව.

           අප උරුමකම් කියූ පැරණි ලාංකීය සංස්කෘතිය තුළ කෙතරම් දුර්වල තාක්ෂණයන් භාවිතා කෙරුණද ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත් ඉහළ සංවර්ධනයකට උරුමකම්  කියූහ. පවුල නමැති සංකල්පය තුළ ඇති බැදීම් ඔවුහු නියම වටිනාකම් ලබා දුන්හ. මව , පියා , දරුවන් එකිනෙකා කෙරෙහි වගකීම් සමුදායකින් බැදී සිටියා මෙන්ම ආචාරධර්ම අතින් ඔවුන් ඉතා පොහොසත් පිරිසක් විය. මානවයා නම් වු  මනසින් උසස් යැයි පවසන සම්මත පිළිගැනීම සත්‍ය වශයෙන්ම තහවුරු වූයේ එවන් යුගයක දීය යන්න  පැවසීමෙහි වරදක් නොමැත්තේ ඒ නිසාවෙනි.

            කුඩා කළ සිට අප පෝෂණය කරමින් අපගේ අනාගතය සශ‍්‍රීකත්වය කරා රැගෙන යාමට වෙහෙස දැරූ අප ආදරණීය දෙමාපියන් පැරණි ලාංකීය සංස්කෘතිය තුළ නොසැලකිල්ලට ලක් කරමින් අත්හැර දැමුවේ ඉතා කලාතුරකිනි. ඔවුන් සැම විට තම දෙගුරුන් පමණක් නොව ගුරුවරුන් පවා උසස් කොට උතුම් කොට සැලකූහ. එය ආධ්‍යාත්මික වශයෙන් පැවති සංවර්ධනයක් නොවේ ද? නමුත් වර්තමාන ලාංකීය සමාජය පිළිබදව මොහොතක් සිතා බලන්න. අද වන විට දරුවන් දෙමාපියන් නොහදුනන තත්වයකට පත්ව සිටී දෙමාපියන් දරුවන් නොහදුනන තත්වයකට පත්ව සිටී. 

             මෑත කාලීන සිදුවීමක් වශයෙන් රට තුළ ඉතාමත් ආන්දෝලනයකට ලක් වූ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධ සිදුවීම එයට හොදම සාක්ෂියකි. හයක් හතරක් නොදන්නා අහිංසක පුංචි මල් කැකුළක් වැනි දැරියකගෙන් තම කාමාශාවන් සපුරා ගැනීමට තරම් වූ පහත් මානසිකත්වයකට අපේ රටේ මිනිසුන් පත්ව සිටින්නේ නම් එය සංවර්ධනය ද?  

         කුඩා දරුවන් මව් කුසින් බිහි වූ විටම ඔවුන් මේ ලෝකයේ ජීවියෙකු ලෙස පළමු හුස්ම පොදගත් විගසම අනාථ දරුවෙකු ලෙස මහමග දමා යාමට හෝ මරණයට  පත්කිරීමට තරම් ලාංකීය සංස්කෘතිය තුළ මව යන උදාර චරිතය විකෘති වී තිබීම අප පවසන සංවර්ධනය වෙමින් පවතින රටක නියම සංවර්ධනය ද? අප කොතරම් සංවර්ධනය වී ඇතැයි පැවසුව ද එය ආටෝප සංවර්ධයක් යැයි අපටම හැගෙන්නේ මෙවන් අවස්ථාවල දීය.

          සංවර්ධනයේ මුහුණුවරින් බටහිර රටවල් තුළින් අප රටට සංක‍්‍රමණයවන සෑම කසල ගොඩක්ම ගිජුකමින් වැළද ගැනීමට තරම් මේ වන විට ලාංකීය සමාජය නූගත්ව සිටී. කැසිනෝහල් , රාතී‍්‍ර සමාජ ශාලා , ගණිකා නිවාස ආදී විශේෂයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්තව ඇති බටහිර දායාදයන් ඔස්සේ ලාංකීය කාන්තාවට හිමි වී ඇත්තේ කෙබදු තත්වයක් ද? අද වන විට ඇය වෙළද භාණ්ඩයකි. දැන හෝ නොදැන මාධ්‍ය හරහාම ඇය මුදලට විකිණෙන වෙළද භාණ්ඩයක් බවට පත් කර හමාරය. මෙවැනි සෝභන , නිශ්ඵල කි‍්‍රයාවන් නිසාම ලාංකීය කාන්තාව ගණිකාවන් බවට පත් වීමේ වැඩි ප‍්‍රවණතාවක් පවතී.  උතුම් මාතෘත්වයේ පරිවර්තනයක් සිදු වී ඇති වා සේම හුදෙක් කාමාශාවන් සපුරාදෙන වෙළද භාණ්ඩයක් ලෙස කාන්තාව අතින් අතට යෑමේ සංස්කෘතියක් ලාංකීයත්වයට ද මේ වන විට උරුම වී ඇත.

            එපමණක් නොව රටක සංවර්ධන කාර්යයේ දී වැදගත්ම මෙන්ම වටිනාකමින් වැඩිම පිරිස ලෙස රටේ අනාගතය බාරගැනීමට සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තත්වය මේවන විට කෙබදු ද? කුඩාකල සිටම විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවූ ශිෂ්‍යයෙක්  සොයා ගැනීම අද කලූ නික සොයනවාටත් වඩා අපහසු කාර්යයකි. රට භාරගැනීමට සිටින වැදගත්ම පිරිස එසේ හැසිරෙන විට එවන් අනාගත පරපුරකට අප රට දායාද කිරීමෙන් එය අප බලාපොරොත්තුවන සංවර්ධනයක් අත්පත් කරගනී ද? මෙකී කරුණ තවමත් කිසිදු බලධාරියෙකුගේ වුවද අවධානයට ලක් වී නොමැත. රටක් ලෝකයක් සංවර්ධනය වනවා නම් එය හුදෙක් නව තාක්ෂණයන් ඔස්සේ  ම පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් ද එම සංවර්ධනය ප‍්‍රගුණ කළ යුතුවන්නේ මේ නිසා  සමාජය තුළ බැදීම් , සාරධර්ම , නීතිය සුරැකෙන තරමට එකී රට ලබන ආධ්‍යාත්මික සංවර්නය ඔස්සේ එය  ඕනෑම සමාජ බලවේගයකට මුහුණ දෙමින් සාර්ථක සංවර්ධනයක් කරා ගමන් කරනු ලබයි.

                  අප කෙතරම් උදම්වනමින් අප රට ද දැන් ප‍්‍රමුඛ පෙළේ සංවර්ධනය  වෙමින් පවතින රටක් යැයි කොතෙක් පැවසුව ද රටේ සිදුවන්නේ කෙබදු සංවර්ධනයක් ද යන්න දන්නෝ දනිති. ඒ නිසාවෙන් ප‍්‍රථමයෙන් අප අපේ දෘෂ්ඨිය වෙනස් කරගත යුතුය. සත්‍ය වශයෙන්ම සංවර්ධනයේ සැබෑ අරුත වටහා ගත යුතු ය.  අප සිතන පතන ආකාරයෙන්ම අප රට සංවර්ධනය කිරීමට නම් අප මේ දකින තාක්ෂණික සංවර්ධනයම පමණක් අපට ප‍්‍රමාණවත් වන්නේ ද? යන්න අප විසින්ම නැවත නැවතත් සිතා බැලිය යුතු වන්නේ මේ නිසාවෙනි.










   .

3 comments:

                                                  photo by: Tharika Sadamini