Saturday, June 9, 2018

මාධ්‍යයට ප්‍රචණ්ඩත්වයෙන් මිදෙන්න බෑ....

             
              
                





         

                   මාධ්‍ය යනූ සමාජය හා ජනතාව අතර තොරතුරු හුවමාරු කරමින් සමාජීය සත්වයෙකු ලෙස සමාජය හා මිනිසා අතර සබඳතාවක් ගොඩනැගෙන තොරතුරු ගෙනයාමේ වාහකය හෙවත් සමාජය හා මිනිසා අතර සබඳතාවය ගොඩනැගීමට උපකාරීවන අතරමැදියෙකු වේ.

        මෙහි දී විශේෂයෙන් වත්මන් විද්‍යා හා තාක්ෂණයේ දියුණුවත් සමග  මාධ්‍ය සිය පැවැත්මව තරගකාරී ලෙසින් සිය තොරතුරු ග්‍රාහක ගත කිරීමක් දක්නට ලැබේ. රූපවාහිනී මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍ය මෙන්ම පුවත්පත් මාධ්‍ය පමණක් නොව වත්මන් නව මාධ්‍යයෙන් ද සෑම විටම උත්සහ දරන්නේ සැමට ප්‍රථමයෙන් සිය තොරතුරු ඉදිරිපත් කරමින් ග්‍රාහක ආකර්ෂණය දිනා ගැනීමටයි.

       කුඩා කල සිටම මානවයා නමැති සත්ව කොට්ඨාශය තුළ පමණක් නොව ඕනෑම සත්වයෙකු තුළ ප්‍රචණ්ඩත්වය නම්  වූ සාධකය ජීව විද්‍යාත්මකව පවතින්නකි. තවකෙකු පරයා නැගී සිටීමට තම අවශ්‍යතා ඉටු කරගැනීම ආදී මෙකී නොකී කවර කරුණක් උදෙසා වුව ද මනුෂ්‍ය වර්ගයා තුළ වැඩි වශයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවන්නේ තාරුණ්‍ය හෙවත් තරුණ පරපුර වීමද මෙහි සුවිශේෂයකි.

        වත්මන් මාධ්‍යයේ තොරතුරු වාර්තාකරණය වීමේ ක්‍රියාවලිය දෙස බැලූ විට සෑම විටම යම් ආකාරයකින් ඒ තුළ ප්‍රචණ්ඩත්වයක් ඉස්මතු කරන්නේ ද රටක සිටින බලය ජවය ශක්තිය සපිරි තාරුණ්‍ය සිය මාධ්‍යයන් වෙත දැඩිව ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගෙන විය හැකිය. තොරතුරු වාර්තානරණ ක්‍රියාවලිය තුළ පමණක් නොව වත්මන් මාධ්‍යයේ සෑම වැඩසටහනකම පවතින්නේ ප්‍රචණ්ඩත්වයකි.

      කුඩා දරුවන්ගේ කාටුන් පිළිබඳව ඔබ මදක් සිතා බැලුවා ද? ඒවායේ සෑම විට දක්නට ලැබෙන්නේ ප්‍රචණ්ඩත්වයකි. බෙන්ටෙන්, දගයා, සුපර් ශිවා, වීරා ආදී මේ සෑම කාටුන් වැඩසටහනක් තුළ ම සෑම විටම වීරත්වය හා බැඳි ප්‍රචණ්ඩත්වයක් ඉස්මතු කරයි. සෑම විටම ඒවා තුළ කුඩා දරුවෙකු හා බැඳි වීරත්වය පදනම් කර ගනිමින් තවකෙකු පරයා නැගී සිටීමට ඔහු සතුව පවතින ශක්තිය පිළිබිඹු කරමින් පහරදීම්, වැටලීම් ආදියෙන් ප්‍රචණ්ඩත්වයක් ඉස්මතු කරන අතරම වත්මන් කුඩා දරුවන්  වැඩි වශයෙන් ඒවා කෙරෙහි ආකර්ෂණයවන්නේ ද එකී ප්‍රචණ්ඩත්වය නිසාමවන බව මෙහි දී පැහැදිලිය.
          ඊට අමතරව ටෙලි නාට්‍ය කලාව තුළ වුව ද මෙකී ප්‍රචණ්ඩත්වය අන්තර්ගත නොවන්නක් නොමැත. ප්‍රේම සබඳතා නිසාවෙන් ප්‍රචණ්ඩත්වය ඉස්මතු කිරීම, පවුල් අරගල  නිසාවෙන්,  සමාජයේ තමන්ට නිස් තැන නොලැබීම නිසාවෙන් ආදී විවිධ තේමාවන් ඔස්සේ ටෙලි නාට්‍ය කලාවේ ප්‍රචණ්ඩත්වයෙන් ඉලක්කර ගන්නේ ද තාරුණ්‍ය වීම සුවිශේෂයකි. එලෙසම ප්‍රවෘත්ති වාර්තාකරණ ක්‍රියාවලියේ ද සෑම විටම මිනී මැරීම්, ලේ වැගිරීම්, උද්ඝෝෂණ ව්‍යාපාර ආදී ප්‍රචණ්ඩවාදී ක්‍රියාවන් හැර වෙනයමක් වාර්තා නොවන අන්දමට ඒ තුළ ප්‍රචණ්ඩත්වයක් දක්නට ලැබේ. ඕනෑම  ප්‍රවෘත්තියක එවැනි දර්ශන පවා ඉතා පැහැදිලි ලෙස ගෙනහැර දක්වන්නා සේම පුවත්පත් කලාවේ පවා වැඩි වශයෙන් ඡායාරූප ආදිය පලවන්නේ එවැනි දේ හා සම්බන්ධ වෙමිනි. මේ ආකාරයට කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ග්‍රාහක ගතවන සියලුම සංදේශයන් තුළම පාහේ මෙකී ප්‍රචණ්ඩවාදී අදහස් සමාජගත කිරීමත් සමග නිරන්තරයෙන් මාධ්‍ය සමග බැඳී හැදී වැඩෙන ග්‍රාහක මානසිකත්වය තුළ ප්‍රචණ්ඩවාදී සිතුවිලි වර්ධනය කරයි. මෑත කාලීනව තෙල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ මුස්ලිම් සිංහල ගැටුම ඊට කදිම නිදසුනකි. පෞද්ගලික  දේපළවලට ජීවිතවලට හානි සිදු කරමින් එලෙස ප්‍රදේශයක සමස්ත ජනතාව ප්‍රචණ්ඩවාදී ලෙස හැසිරීමෙහි ලා මාධ්‍යයෙන් නිරතුරුව ග්‍රාහක ගත කරන මෙම සංදේශ හේතු විය නොහැකි බව නොපැවසිය නොහැක. එවන් අවස්ථාවල දී වැඩි ලෙස භාවිතවන්නේ තාරුණ්‍ය හා බැඳෙන නව මාධ්‍ය ඔස්සේ හැඩ ගැසෙන fb වැනි සමාජ ජාල මාධ්‍යයන්  වෙයි. එයින් විවිධ පාර්ශවයන්ගේ අරමුණු ඉටු කරගැනීම උදෙසා තාරුණ්‍යය වක්‍රාකාරව  භාවිත කිරීමට තරම් ඔවුන් ප්‍රචණ්ඩත්වයට නැඹුරු කිරීමට මෙවැනි මාධ්‍යය නිසා පෙළඹීමක් සිදුවූවා සේම එයින් රටකටම නැවතත් යුද ගිනි ඇවලීමට ඉඩ නැතුවාම නොවෙයි. 
මෑත කාලීනව සිදුවන විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ උද්ගෝෂණ, සේවක වැඩ වර්ජන මෙකී ප්‍රචණ්ඩත්වයන්ගේ අතුරු ප්‍රතිඵල වෙයි. ඒ නිසාවෙන් තරගකාරීත්වය  හේතුවෙන් සිය සත්‍ය අරමුණු පසෙක ලා සෑම මාධ්‍යයක්ම ප්‍රචණ්ඩත්වයට නතුව පවතින බවක් පෙනී යයි. ඒ නිසාවෙන් වත්මනෙහි සෑම මාධ්‍යයක් ම ප්‍රචණ්ඩත්වය සිය සාර්ථකත්වයෙහි කේන්ද්‍රීය සාධකය බවට පත්කරගෙන සිටී.

No comments:

Post a Comment

                                                  photo by: Tharika Sadamini