Tuesday, July 31, 2018

සමාජීය පරිවර්තනයන් හමුවේ අහිගුණ්ඨික ජනයා....



           නෑම සමාජ ක්‍රමයක් සමඟ අවියෝජනීය වශයෙන් බැඳි පවතින දෙයක් වශයෙන් සංස්කෘතිය හඳුනා ගත හැකිය. යම් සමාජයක් හැඳින්වීමට බලපාන කරුණු අතර සංස්කාතිය ප්‍රධාන අංගයකි. යම් සමාජ ක්‍රමයක ස්වාභාවික දෙයට අමතරව මිනිසා විසින් නිර්මාණය කරනු ලැබු දෙය ගොඩනැගූ දෙය සංස්කෘතිය සෙ සරලව අර්ථ දැක්විය හැකිය.

සංස්කෘතිය සම්බන්ධයෙන් ප්‍රථමවරට විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර ඇත්තේ E.B ටයිලර් යැයි පැවසේ. ඔහු දක්වන පරිදි සංස්කෘතිය යනු දැනුම ඇදහිලි කලාවන් සාරධර්ම නීති රීති සිරිත් විරිත් හා සමාජගත  ජීවියෙකු වශයෙන් මිනිසා ලබාගත් සෙසු හුරුපුරුදු දක්ෂතා යනාදී සියල්ලේ එකතුවයි.
                            
ඔහුගේ නිර්වචනයට අනුව සංස්කෘතියෙන් මිනිසුන්ගේ සමස්තය පිළිඹිබුවන බව දක්වයි. ඕනෑම පුද්ගලයෙකු යම් සමාජ ක්‍රමයක ජීවත් වීමේ දී ඔහුගේ හැසිරීම් සිරිත් විරිත් ඇඳුම් පැළඳුම් ආදියෙන් පිළිඹිබු වන්නේ ඔහුගේ සංස්කෘතිය බව මෙම නිර්වචනයෙන් පැහැදිලි කරයි. එසේ ම තවත් තවත් ආකාරයකින් දක්වන්නේ නම් සංස්කෘතිය පූර්ණ සමාජික සම්ප්‍රදායක් රටාවක් නැතිනම් උරුමයක් ලෙස දක්වයි.
තවත් ප්‍රකට මානව විද්‍යාඥයෙකුවන රැල්ෆ් ලින්ටන් පවසන පරිදි 
මිනිසා පරම්පරාවෙන් පරම්පරාවට දායාදයක් වශයෙන් ගෙනයන ජිවන රටා සමුදාය සංස්කෘතිය යන්නයි.

ඔහුගේ නිර්වචනයට අනුව සංස්කෘතිය යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශණයවන්නක් බව පෙන්වා දෙයි.සංස්කෘතියෙහි ලක්ෂණ පහසුවෙන් හඳුනා ගැනීමට එය වර්ගීකරණය කිරීමට සමාජ මානව විද්‍යාඥයින් උත්සහ දරා තිබේ.ඒ අනුව සංස්කෘතියේ ප්‍රධාන කොටස් දෙකකි.

01 භෞතික සංස්කෘතිය- මිනිසා විසින් නිර්මාණය කරගත් දේ 
02 අභෞතික සංස්කෘතිය- කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන අදහස්    උදහස් ආදිය.

මේ ආකාරයෙන් විග්‍රහ කළ හැකි මහා සංස්කෘතික සමාජයෙහි විවිධ සාධක මත පදනම් වෙමින් විවිධ කුඩා කණ්ඩායම් බිහිව පවතී.කණ්ඩායම්වල එකිනෙකට ඇති සම්බන්ධතාව අඩුවීම නිසා මානව සමාජයේ කුඩා කණ්ඩායම් ගොඩනැගී ඇත. මෙසේ විහේදනය වීමට බලපාන විවිධ වූ සාධකයන් තිබේ.වයස,හැකියාව,අදහස්,විශ්වාස, රුචි-අරුචිකම් යනා දී විවිධ හේතු සාධකයන් මෙයට මුල් වූ බව කිව හැකිය. සමූහ තුල දක්නට ඇති කුඩා සමූහ ගැන සමාජ විද්‍යාඥයෙකුවන ටී.බී බොටමොර් මෙසේ  සඳහන් කරයි.  ඓතිහාසික වශයෙන් පරික්ෂා කර බලන විට කුඩා සමාජය නිසා නිර්මාණය වී ඇත.

උදා: නූතන බටහිර පවුල කාර්මිකත්වයේ ප්‍රථිඵලයකි.එසේ ම පිටිසර ගමේ විපර්යාසය ඒ ගම පිහිටා තිබෙන සමාජයේ සාමාන්‍ය වෙනස් වීම බව කිව හැකිය.
                                                                                     
කුඩා කණ්ඩායම් හි ප්‍රභවය පිළිබඳව මෙන්ම එහි ස්වභාවය ගැන ද විවිධ සමාජ හා මනෝ විද්‍යාඥයන් කරුණු ඉදිරිපත් කර තිබේ.සමාජ විද්‍යාඥයෙකුවන චාල්ස් හෝටන් කුලී විසින් ප්‍රාථමික සමූහ පිළිබඳ කළ විවරණයකින් කුඩා සමූහයන්ගේ ලක්ෂණ මෙසේ පැහැදිලි කර දක්වයි.

      “ප්‍රාථමික සමූහ යනුවෙන් මා අදහස් කරන්නේ කුළුපග මුහුණට මුහුණලා ඇසුරු කරන සහයෝගීතාවක් ඇති සමූහයයි.අර්ථ කීපයකින්ම ඒවා ප්‍රාථමික වන නමුත් ප්‍රධාන වශයෙන් පුද්ගලයාගේ සමාජය ස්වභාවය සකස් කිරීමෙහි ලා මුල් තැනක් ගන්නා බැවින් ඒවා ප්‍රාථමික සමූහ වෙයි”
                                
ඔහු දක්වන පරිදි කුඩා කණ්ඩායමකට මුහුණට මුහුණලා සන්නිවේදනයේ යෙදීමට හැකි අතර විශේෂ හේතු සාධකයන්  මත ඔවුන්ගේ ඒකාබද්ධතාව රැඳී පවතින බව පෙන්වා දෙයි.මහා සංස්කෘතික සමාජයෙහි පවතින  විවිධ සාධක පදනම් කරගනිමින් බිහිව ඇති මෙම කුඩා කණ්ඩායම් තුළ විවිධ උප සංස්කෘතීන් පවතී.

ප්‍රකට සමාජ විද්‍යාඥයෙකුවන ඇල්බට් කොහේන් පවසන පරිදි,
“ඕනෑම රටක විවිධ  සමාජ ස්ථරවලට අනුව උප සංස්කෘතීන් ගණනාවක් බිහිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.” උප සංස්කෘතියක් තුළ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි පොදු සංස්කෘතියට අතිරේකව පැන නැගුණු විවිධ සාධක මුල් කරගත් ලක්ෂණ පවතී.ඕනෑම සමාජයක බහු ජාතික සහ බහු ආගමික පදනම මත ද සමාජ ආර්ථික පදනම මත ද කුල ධූරාවලිය මත ද උප සංස්කෘතීන් ගණනාවක් හඳුනා ගත හැකිය. ඔවුන් ප්‍රධාන සංස්කෘතිය සමඟ නොගැටෙන අතර ඊට අනුගත වෙමින් උප සංස්කෘතික අංග අඛණ්ඩව විධිමත් ලෙස පවත්වා ගනු ලැබේ.

ඒ අනුව යම් සමාජයක උප සංස්කෘතිය බිහි වීම කෙරෙහි බලපානු ලබන ඉහත සාධක සැලකිල්ලට ගැනීමේ දී ලාංකීය සමාජයේ මහා සංස්කෘතියෙහි ද එවැනි උප සංස්කෘතීන් ගණනාවක් පවතින බව දැක්විය හැකිය.ඉන් එක් ප්‍රධාන උප සංස්කාතික කණ්ඩායමක් ලෙස ලාංකීය අහිගුණ්ඨික ජනතාව හඳුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ කුඩා ජන කණ්ඩායම් ලෙසින් ජීවත්වන ඔවුන්ටම ආවේණික සංස්කෘතියක අනන්‍යතාවක් පවත්වාගෙන යන ජන කොටස් අතර අහිගුණ්ඨික ජනතාව ද සුවිශේෂී ජන කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.ලංකාවේ උතුරු මැද,වයඹ,නැඟෙනහිර,සබරගමු යන ප්‍රදේශවලින් හඳුනාගත හැකි මෙම ජනතාවගේ සුවිශේෂීම චර්යාවක්වන්නේ එක් තැනක සත් දිනකට වඩා  කල්ගත නොකිරීමවන නමුත් අදවන විට මෙම පිරිසෙහි සංස්කෘතික අංගයන් ද විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් පවතී.ශ්‍රී ලාංකික ආදිවාසී ජන කොටසක් නොවන අහිගුණ්ඨික ජනයා ඉන්දියාවේ සිට පැමිණ ලංකාවේ බස්නාහිර වෙරළෙන් රට මැදට,ඊසාන දිග වෙරළෙන් රට පහළට ද කණ්ඩායම් බෙදී ගමන් කර නිශ්චය කර ගත් ප්‍රදේශයක වැඩිපුර රැැදෙමින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවිතය ඇරඹීය.



ඔස්ට්‍රොලොයිඞ් මානව වංශ ලක්ෂණ සහිත මෙම ජනතාවගේ නාමය අර්ථ විග්‍රයට බඳුන් කළ හොත්,

   

 පාලි වදනින් "අහි" යනු සර්පයායි.කුණ්ඩික යනු, ගැටයා :අල්ලන්නා" යන්නයි.ඒ අනුව නයි නටවන්නා,නයි පනික්කියා යනුවෙන් අහිකුණ්ඨිකයා විස්තර කරයි.
                                                                     
තවත් ආකාරයකට මෙය පැහැදිලි කළහොත්,

අහි ආහි කුණ්ඩික යන්න කෙසේ බිඳී ආ ශබ්දයක් දැයි නිශ්චය නැත.සංස්කෘත භාෂාවෙන් තුණ්ඩ යනු තුඩය.සමහර විට නයාගේ තුඩ  පෙණය සමඟ සෙල්ලම් කරන්නා යන අරුත ගෙන දීමට මෙය යෙදෙන්නට ඇත.
                                                           
පාරම්පරික කුඩා කණ්ඩායමක් ලෙස මෙම පර්යේෂණයේ දී තෝරා ගනු ලබන්නේ අහිකුණ්ඨික ජනතාවයි.මහජාතිය කතා කරන භාෂාව කතා නොකිරීම මොවුන්ගේ එක් ප්‍රධාන ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය.වෙනත් කුලයන් හා දැඩි මිත්‍රතත්වයක් අහිකුණ්ඨික ජනයාගේ නොමැති අතරම වර්තමානයේ දී ඔවුන්ටම විශේෂිත වූ ස්ථිර ජනාවාස ද පවතී.1989 දී,

අනුරාධපුර-කුඩාගම
ගල්ගමුව-අන්දර කැලේ 
අනුරාධපුර-කලාඔය

අක්කරෛප්පත්තුව-අලිකම්බෛ හි යන ප්‍රධාන ප්‍රදේශ කීපයක් මුල්කරගෙන එවකට සිටි රජය  අහිගුණ්ඨිකවරුහට ස්ථිර නිවාස,ඉඩම් හා කුඹුරු ප්‍රදානයක් සිදු කිරීමෙන් අනතුරුව එම ස්ථිර ජනාවාස බිහිවන ලදී.මෙම ජනාවාස අතරින් මාගේ පර්යේෂණයට පදනම්වන අහිගුණ්ඨික ගම්මානයවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කුඩා ගම්මානයයි.තඹුත්තේගම පසුකොට බැඳි වැව හන්දියේ සිට වම්පසට ඇති ඇලපාර ඔස්සේ කි.මී 2ක් පමණ ගිය පසු හමුවන ගම්මානය කුඩා ගම්මානය වේ.මෙම ගමෙහි ඇති සුවිශේෂීයත්වය වන්නේ ගම මැදි කොට වැව පිහිටා තිබෙන අතර කුමන මාර්ගයකින් පිවිසුන ද අවසානය වැව කෙළවරින් අවසන් වීමක් දැකිය හැකි වීමයි.
                                                             
1954 වර්ෂයේ තඹුත්තේගම නල්ලච්චිය වැව අසල කුඹුක් වැව ග්‍රාමයේ වව්නියා ප්‍රදේශයෙන් පැමිණි අහිගුණ්ඨික පිරිසක් වාඩි ලා ගෙන සිටින්නට වූ අතර මුත්තු සාමි මේ අහිගුණ්ඨික පිරිසේ නායකයා විය.
                                                                
ඉන් අනතුරුව 1976 මහවැලි  ව්‍යාපාරය ඔස්සේ එම පවුල් පදිංචි කර ඇති අතර 1984වන විට රාජාංගණය වැව අසල ඔවුන් පදිංචි කරවා 1948 අංක 18 දරණ පනත යටතේ මෙම පවුල්වලින් මූලික පවුල් විසි පහකට ලංකා පුරවැසිභාවය ලබා දී තිබේ.මෙම ජනතාව එම ස්ථානයේ පදිංචි කරවන විට අක්කර 2 1/2ක පමණ කුඹුරු ඉඩම් ප්‍රමාණයක් ද ඔවුන්ට ලබා දී තිබේ.

වර්තමානයේ දී මෙම පවුල් සියල්ල සඳහාම වෙන වෙනම ස්ථිර නිවාස ඇති අතර බුද්ධාගම හා ක්‍රිස්තියානි ආගම ඔවුනගේ ප්‍රධාන ආගම සේ  සලකනු ලබයි.එලෙසම විදුලිබලය, ජන මාධ්‍යය භාවිතයේ පහසුකම් හා වෙනත් නවීන අංගෝපාංගයන් ද මෙම නිවෙස්වල අදවන විට දැකිය හැකිය.

1 comment:

                                                  photo by: Tharika Sadamini