Tuesday, June 26, 2018

අපේ සිහින හීනයක් ද?

                         
                              






                         සිහින එසේ නොමැතිනම් සිහින සමාජයේ ඇතැමුන් මේ වචන දෙකටම එකම අර්ථයක් ලබා දෙයි. එහෙත් සත්‍යය වශයෙන්ම මේ වචන දෙකෙහිම ඇත්තේ එකම අරුතක් දැයි ඔබ කෙදිනක හෝ සිතාවත් බැලුවා ද? නින්දේ දී අප දකින සිහින රැය පහන්වන විට අවදිවනවාත් සමඟ බොහෝ විට අප මතකයෙන් දුරස් වුව ද ජීවතයේ අප දකින සිහින අපි මියැදෙන තුරුම අපේ ජීවිතවල කොටස්ව පවතියි. ඒ අතරින් සමහර සිහින යථාර්තයක් බවට පත්කර ගැනීමට නොහැකි වූ විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට ඇතැමුන් පෙළෙඹෙන්නේ මේ සිහින එතරම් අපි කාගෙත් ජීවිත සමඟ බැඳී පවතින නිසාවෙනි.

               සිහින අපි කාගෙත් ජීවතවලට අඩුවැඩි වශයෙන් පවතින දෙයකි. ඇතැම් සිහින අප දෑස් වසා නරඔනමුත්  තවත් සමහර සිහින අප දකින්නේ අප දෑස් වවර කර පියවි සිහියෙන් වේ. ඒ සිහින ඇතැම් විට අපව සමාජයේ උසස් අයෙකු බවට පත් කිරීමට ශක්තියක් වෙයි. කුඩා දරුවෙකු යන්තමන් අධ්‍යාපනය ලබා ඔහුට යමක් තේරෙන්නට අවබෝධ කරගන්නට පටන්ගත් දා සිටම එකී සිහිනයන් ඔස්සේ තම ජීවිතය හැඩගස්වා ගැනීමට පෙළඹෙයි. "මම ගුරුවරියක් වෙනවා," "මම දොස්තර කෙනෙක් වෙනවා" මේ වගේ සිහින පුංචි කාලයේ සිට සිතින් ධාරණය කරගනු ලබන ඔවුන්ගෙන් ඇතැමෙක් ඒ සිහිනයන් යථාර්යන් බවට පත්කර ගනිති.

                   ජීවිතයේ අධ්‍යාපනයට පමණක් නොව ආදරයට මෙන්ම ජීවත්මවීට ද අපට සිහිනයන් ඔස්සේ ගමන් කරන විට ඒවා අපේ ජීවිතවලට ළඟා කරගැනීමට වෙර දරන ඉලක්කයක් බවට පත්වේ. ඒ අතරින් ඇතැමුන් කුඩා කළ සිටම වාගේම සිහින සැබෑ කර ගැනීමට කය පමණක් නොව මොළය ද මෙහෙයවා ක්‍රියා කරන අයුරු දක්නට ලැබෙන්නා සේම විය යුත්තේ ද එයමය.

                     ඒ අතුරින් තවත් සමහරක් කුඩා කල සිට තමා දකින තමා ප්‍රිය කරන සිහින රාත්‍රී නින්දේ දකින සිහින මෙන් අතරමගදී බොඳ කරගනි. ජීවිතයේ කාලයත් සමඟ සිදුවන පරිවර්තනයන් හමුවව් අසන දකින දේවල් ඇසුරු කරන පිරිස් මෙන්ම යමෙකුගේ හිත තුළ ඇතිකරන නව හැඟීම් හේතුවෙන් ද ඇතැම් විට ඇතැමුන්ගේ සිහින සිහිනයන් ලෙසට යථාර්ථයක් කර ගැනීමට නොහැකිව බොඳව යන අවස්ථා වත්මන් සමාජයේ ඔනෑ තරම්. දැනට නුදුරු කාලයට ඉහත දී  විශ්ව විද්‍යාල වරම ලද උපාධිධාරී තරුණියක විසින්ම තම සිය දිවි නසා ගැනීම එවැනි ඛේදනීය තත්වයකි.

                         මේ ජීවිතය නමැති දිගු ගමනේ දී අපි සියලු දෙනාම දකින්නේ එක සිහිනයක් පමණක් නොවේ. හොඳ අධ්‍යාපනයක් මෙන්ම වටිනා ආදරයක් සාර්ථක විවාහ දිවියක් මේ සියල්ල කාලයත් සමඟ විවිධ වයස් මට්ටම්වල දී අපේ ජිවිතවලට පවතින සිහිනයන් වුවත් ඒ අතරින් එකක් හෝ යථාර්ථයක් නොවූ විට  ඇතැමුන් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සමඟ සිහිනයන් මේ තරම් බැඳී පවතින නිසාවෙනි.

                   හීන මීට හාත්පසින්ම වෙනස් වූවකි. ඒ වචනය තුළ පවා ගැබ්ව පවතින්නේ හිස් බවකි. ඒ නිසාවෙන් අප හඹා යායුත්තේ අපගේ සිහින මිස ඒවා හීන කර ගැනීම නොවේ. ඒ අනුව හීන යනු අපට සැබෑ කරගත නොහැකි වන බලාපොරොත්තු ඉලක්ක ලෙස දැක්වමෙහි වරදක් නැත. 

                       ඒ නිසාවෙන් ඔනෑම  මනුෂ්‍යයෙකු වෙහෙසිය යුත්තේ තමාගේ සිහින යථාර්ථයක් කර ගැනීමට විනා ඒවා හීන කර ගැනීමට නොවේ. සිහින සැබෑ කර ගැනීමේ දී සිදුවන  අභියෝගතා බාධක හමුවේ ඒවාට මුහුණ දීමට හැකියාවක් මෙන්ම ඒවා සැබෑ කරගැනීමට නොහැකිවන තැන සම සිතින් ඒවා විඳ දරාගැනීමටත් ශක්තියක් තිබිය යුතුය.

                    ඒ නිසාවෙන් එකී තත්වයන්ට ප්‍රඥාවෙන් මුහුණදෙමින් ජීවිතය සාර්ථක කර ගැනීමට සිහිනයන් හා බැඳී ඒවා සැබෑ කර ගැනීමට අප නිවැරදි මාර්ගයන් ඔස්සේ ක්‍රියා කළ යුතු වූවා සේම අපි සිහින දැකිය යුත්තේ ඒවා සැබෑ කර ගැනීමට මිස ඒවා හීන කර ගැනීමට නොවන බව අප පසක් කර ගත යුතුය. 


Sunday, June 24, 2018

පොෂ් වී වැනසෙන තාරුණ්‍යය.

                                   
                       








              ත්මන් තාරුණ්‍යය තුළ පොෂ් වීම යනු එකිනෙකාට ආවේණික වූ මානසික තත්වයකි. ගැමිකම, සංවරකම යන්න දුර්වලකමක් ලෙස දකින ඇතැම්හු තම ආටෝප, සාටෝප ජීවිතය තුළින් තවකෙකුගේ ආකර්ෂණය දිනා ගැනීමට වත්මන් සමාජය තුළ කැපී පෙනීමට පොෂ් වීම අනිවාර්ය අංගයක් ලෙස සලකා කටයුතු තරන්නා සේම එය වත්මන් තාරුණ්‍යයට වැළදී ඇති වසංගතයකි. 

            කොණ්ඩය ඉන ගාවට නැතත් රෙදි හැට්ට නොඇන්දත් හැදිච්චකම තාම තියනවා  යැයි පවසන ලාංකික තරුණියන් තුළ එකී හැදිච්චකම තාම තියනවා ද යන්න අප වර්තමානයේ දී මදක් සිතා බැලිය යුතුය. පෙනෙන ආකාරයෙන් මිනිසුන් මනින්නට බැරි බව සැබෑවක්  වුව ද පොෂ් වසංගතය නිසාවෙන් තාරුණ්‍යයේ බාහිරින් පමණක් නොව අභ්‍යන්තරයෙන් ද වචන, හැසිරිමෙන් පවා වෙනසක් දකින්නට ලැබීම ඇතැම් විට හාස්‍යයකි.

          විශේෂයෙන් ගෝලීයකරණය හමුවේ ලංකාව වැනි රටක පවතින සංස්කෘතිය විවිධ සංස්කෘතික ආක‍්‍රමණ සංක‍්‍රමණ සමග වෙනස් වීමෙන් මෙය තාරුණ්‍යයේ  බහුලව දකින්නට ලැබෙන දෙයක් බවට පත් ව අවසන්ය. විශේසයෙන්ම තාරුණ්‍යය තුළ පොෂ් යැයි සම්මත වීමට ස්මාර්ට් ෆෝන්, හිර ඩෙනිම එයට ආවේණික වූ ලක්ෂණයන් ලෙස දැක්යවි හැක. ඉපැරණි සමාජීය සංස්කෘතියෙන් මිදී නවීනත්වයට හුරු වීම වරදක් නොවන නමුත් වරදක්වන්නේ අවිඥාණිකව අප සංස්කෘතියට නොගැලපෙන දේ තුළින් අප ගොඩනගාගනු ලබන තාවකාලික ජීවිතය විශේෂයෙන් තාරුණ්‍යය තුළ විනාශයට අතවැනීමක් ලෙස පවතින නිසාවෙනි. 
                පොෂ් සංකල්පය තුළ ස්තී‍්‍රත්වය යන්න මුදලට විකිණෙන සිල්ලර භාණ්ඩයක් ව හමාරය. නිරුවත එහි ප‍්‍රධානතම අංගයක් ව හමාරය. ශරීරය නිරාවරණයවන ශරීරයේ හැඩය ඉස්මතුවන ලෙස අදින පලදින වත්මන් තරුණියන් නොසිතූ ලෙස ඇතැම්  අවස්ථාවන්හි දී තවකෙකුගේ ගොදුරක් බවට පත්වන අවස්ථා ඔනෑතරම් වත්මන් සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ අනේකවිධ කොණ්ඩා විලාසිතාවන් වෛවර්ණ කොණ්ඩ සැකසුම වත්මන් සමාජයේ සුලභවන අතර ඒ නිසාම ස්තී‍්‍ර ලාලිත්‍යය සුන්දරත්වය විදීමට හැකිවන්නේ තරුණියන්ගෙන් කීදෙනෙකුගෙන් දැයි ඔබ මොහොතකට සිතා බැලවා ද?

              තරුණියන් තුල පමණක් නොව තරුණයන් තුළ ද පොෂ් සංකල්පයේ එක් ප‍්‍රධානතම අංගයක් බවට පත්ව ඇත්තේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතයයි. එවැනි දේ සිදු නොකළහොත් තමා සමාජයෙන් කොන් වේ යැයි ඇතිවන බිය මෙන්ම ඉහළ පන්තිය සමග එකට ගැවසෙමින් ජීවත්වීමට නම් මේවා අත්‍යවශ්‍යය බව සිතන සමහරු ඒ පොෂ් වීමෙන් තම ජීවිතය වනසා ගන්නා අවස්ථා  ඕනෑ තරම් වේ.විශේයෙන් තාරුණ්‍යය තුළ නිදහස ඉහළම වශයෙන් භුක්ති විදින විශ්වවිද්‍යාල පරිසරය තුළ පොෂ් වීම ප‍්‍රධානතම සංකල්පයක් බවට පතවන්නේ ඒ තුළ තාරුණ්‍යයේ වැඩි පිරිසක් කේන්ද්‍රවන නිසා විය හැක. ගමින් පැමිණෙන සංවරකම හැදියාව සුන්දරත්වය නැවත ගමට යනවිට ඒ ආකාරයෙන්ම රැගෙන යන්නේ කීයෙන් කී දෙනා ද? පවතින සමාජ සංස්කෘතික විපර්යාස හමුවේ වෙනස් වීම වරදක් නැත. නමුත් එයින් තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීම විනා විනාශ කරගන්නේ නම් එය විනයක් මිස වටිනා දෙයක් නොවන බව අප සිහි තබා ගත යුතුය. ඒ නිසාවෙන් වෙනස්වන සමාජ සංස්කෘතියට අනුව වෙනස් වීමට වරදක් නොවුව ද ඒ තුළින් තම ජීවිතය විනාශ කර නොගැනීමට තරම් වත්මන් තාරුණ්‍යය බුද්ධිමත් විය යුතුය.

Tuesday, June 19, 2018

තාරුණ්‍යයේ ආදරය හා ලිංගිකත්වය.

                                     

                     





           ලෝකයේ ඕනෑම රටක සංවර්ධනය කෙරෙහි අතිශය වැදගත් වූ පිරිසක්වන්නේ තාරුණ්‍යයි. යමෙකු තරුණ වියට පා තැබීමත් සමඟ තමා අමුතු ලෝකයට පා තැබුවා වැනි හැඟීමක් ඔහුට හෝ ඇයට දැනෙන්ට පටන් ගනියි. මන්ද යත් ඔහුගේ හෝ ඇයගේ අඟපසඟ මීට පෙර නොවූ විරූ ආකාරයට වෙනස්වන්නට පටන් ගනී. ඒ සමඟම වෙනදා නොදැනුන හැඟීම් සහ දැනීම් නිසා හදවත ඉපිලුම් දෙයි. 

                      මේ සියල්ල යමෙකු තාරුණ්‍යයට පා තැබීමත් සමඟ සිදුවන අනිවාර්යය වූ විපර්යාසයන්ය. එහෙත් මෙකී විපර්යාසයන් හමුවේ  ඇතැම් විට වර්තමාන තාරුණ්‍යය ඒවා අවිඥාණිකව අවබෝධ කරගැනීමත් සමඟ තාරුණ්‍යයේ සුන්දරත්වය විඳීමට වඩා ඔවුන්ට සිදුවන්නේ සිය ජීවිත කාලයම නිකරුණේ නාස්ති කර ගැනීමටය. තාරුණ්‍යයේ සිදුවන මෙකී විපර්යාසයන් හමුවේ පිරිමියා ස්ත්‍රියටත්, ස්ත්‍රිය පිරිමියාටත් ඇලුම් කිරීම ජීව විද්‍යාත්මක සත්‍යතාවකි. එහි දී ඇතැමුන් එය ආදරයක් ලෙසත්, තවත් පිරිසක් එය ලිංගිකත්වයට පමණක් සීමා වූවක් ලෙසත් ගොඩනගාගන්නා බැවින් මෙකී ආදර සබඳතාවයන් නිසා ජීවිතය ගොඩනැගෙන මෙන්ම විනාශ වී යන අවස්ථා ද ඕනෑ තරම් වේ.

                           වර්තමානය විද්‍යුත් මාධ්‍ය හා තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙකී ආදරය ද  අදවන විට හදවත හා සම්බන්ධ නොවන තාක්ෂණික මෙවලම් ඔස්සේ ගොඩනැගෙන හැඟීමක් බවට පරිවර්තනය කර හමාරය. බොහෝ විට ෆේස්බුක් වැනි තාරුණ්‍යය තදින් වැළඳගෙන ඇති මාධ්‍ය මඟින් ගොඩනගා ගනු ලබන අවිඥාණික සබඳතාවක් නිසාවෙන් වර්තමාන තාරුණ්‍යය තුළ ආදරය යන්න හුදෙක් ලිංගිකත්වයටම පමණක් සීමා වූවක් බවට පත්ව තිබේ. දවසක් දෙකක් කතා කළ පමණින් තවකෙකු ඉදිරියේ නිරුවත් වෙමින් කාමරයකට ගොස් පවිත්‍රත්වය කෙලෙසා ගැනීමට තරම් වූ ලිංගික මානසිකත්වයක් අදවන විට ලාංකීය තරුණියන්ගේ හැසිරීමෙහි පරිවර්තනයක් ද දක්නට ලැබේ.

                         කෙසේ වුව ද වර්තමාන තාරුණ්‍යයේ ආදරය යන පිවිතුරු හැඟීම හුදෙක් ලිංගිකත්වයට පමණක් සීමා වූවක් බවට පත්ව ඇතිවා සේම වර්තමාන විද්‍යුත් තාක්ෂණික මාධ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය ද එයට හේතුවක් වී තිබේ. කොලොම්බියාවේ ඇමන්ඩා නම් තරුණිය ෆේස්බුක් මාධ්‍යයෙන් ගොඩනගාගනු ලබන ආදරය හමුවේ තම ජීවිතය විනාශ කරගත් එකම යුවතිය නොවන තරමට අද මෙකී මාධ්‍ය හමුවේ ආදරය ලිංගිකත්වයට පරිවර්තනය කර තිබේ.

               ඉපැරණි ලාංකික සමාජ සංස්කෘතිය තුළ ආදරය යනු උතුම් හැඟීමකි. ලිංගිකත්වය යනු එහි අංශුවක් පමණකි. ඒ නිසාවෙන් නූතන ලෝකයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව හමුවෙ එදාට වඩා බුද්ධිමත් පිරිසක් වූ තාරුණ්‍යය තම ගෞරවාන්විත බව සුරැකෙන ලෙස තම ආදර සබඳතා ගොඩනගාගත යුතු වූවා සේම එය පවත්වා ගත යුතුය. එසේ නොමැති නම් ආලය යන්න ගැලපිල්ලක් නැති තැනකට ඇලපිල්ලක් දා ගත්තම සිදුවන පැටලිල්ලක් යන කියමන සත්‍යයක් බවට පත් වේ.

               ඒ නිසාවෙන් ආදරය හා ලිංගිකත්වය යනු කිසිවිටෙක එකක් නොවන බවත් සත්‍ය ආදරය තුළ ලිංගිකත්වය යනු ආදරයේ කොටසක් විනා ආදරයේ සමස්තය නොවන බවත් නිසි වටහා ගැනීමෙන් යුතුව තාරුණ්‍යය මෙම ආදර මාවතට පා තැබිය යුතුය.

Saturday, June 9, 2018

සංස්කෘතියක පවතින ජනප්‍රිය සංස්කෘතිය.......

           

                     


         
            ඕනෑම සමාජ ක්‍රමයක් සමඟ අවියෝජනීය වශයෙන් බැඳි පවතින්නා දෙයකි සංස්කෘතිය. ඒ අනුව යම් සමාජයක් හඳුනා ගැනීමෙහි ලා බලපාන කරුණු අතර සංස්කෘතිය ප්‍රධාන අංගයකි. යම් සමාජ ක්‍රමයක් තුළ ස්වාභාවිකව නිර්මාණය වූ දෙයට අමතරව  මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ, ගොඩනැගූ දෙය සංස්කෘතිය ලෙස සරලව අරථ දැක්විය හැක.

                 කායික සමබරතාව, දියුණු මොළයක් පිහිටීම, කතා කිරීිමේ හැකියාව වැනි පරිණාමීය ලක්ෂණ හිමි වීමත් සමඟ දියුණු සත්ත්ව කොට්ඨාශයක් බවට පත්වන මිනිසා තමන්ගේ ජීවත් වීමේ ක්‍රමයට ගොඩනගා ගනු ලැබූ සිරිත් විරිත්, ආහාර පාන, ඇඳුම පැළඳුම ආදී සංකීර්ණ සමස්තය ද සංස්කෘතිය ලෙස අර්ථ ගැන්විය හැක. මිනිසා මෙන්ම සතුන් ද සාමූහික සත්ත්ව කොට්ඨාශයක් වුවද සංස්කෘතියක් ඇත්තේ මිනිසාට පමණක් වීම ද සුවිශේෂී කරුණකි. ඒ අනුව මිනිසාගේ හැසිරීම යනු සංස්කෘතියේ කොටසක් වනවා පමණක් නොව පුද්ගලයන් අතර සමූහ අතර සංස්ථා අතර ඇතිවන මේ සම්බන්ධතා කෙරෙහි සංස්කෘතිය බලපානු ලබයි. ඒ නිසා යම් සමාජයක ඇති දේ කරන දේ මෙන්ම හිතන දේ ඇතුළත් භෞතික හා අභෞතික සියල්ල සංස්කෘතියට අයත්ය. 
සංස්කෘතිය යනු culture යන ලතින් වචනයෙන් බිඳී ආවකි. මෙය නිර්වචනයක් ආශ්‍රයෙන් පැහැදිලි කළ හොත්,

“සංස්කෘතිය යනු සමාජීය සමාජකයෙකු ලෙස මිනිසා විසින් එක්රැස් කරගන්නා දැනුම, විශ්වාස, කලා, සදාචාර, නීති,සිරිත් විරිත් ආදිය ඇතුළත් සංකීර්ණ   සමස්තයයි.” 
                                                                                              E.B ටයිලර්.

         මේ අනුව බලන විට සංස්කෘතිය යනු මිනිසාගේ සාමාජය ජීවිතය හෙවත් සමස්ථය ලෙස දැක්විය හැකිය.  මෙහි දී ජන සංස්කෘතිය සේම ජනයා අතර ප්‍රිය වු හා ජනයා සමඟ වැඩෙන වශයෙන් ලෙස ද නව සංස්කෘතියක් නිර්මාණයව පවතී. එය නම් ජනප්‍රිය සංස්කෘතියයි.

             14 හා 16වන සියවස් අතර කාලයේ පුරාණ ග්‍රීසියේ පුනරුද සමයේ සිට ජනප්‍රිය සංස්කෘතික සංකල්පය හඳුනාගෙන තිබේ- 19 වන සියවසේ දී ව්‍යවහාරයට එක් වූ ජනප්‍රිය සංස්කෘතිය කාර්මීකරණය, නාගරීකරණය,  ගෝලීයකරණය සමඟ ප්‍රචලිත විය- 20වන සියවසවන විට එය වඩා ප්‍රචලිත විය.

         ජන  සංස්කෘතිය වෙත මාධ්‍ය විසින් කරන ලද බලපෑම ජනප්‍රිය සංස්කෘතියේ පදනමයි. එය “පොප් කල්චර්” නමින් භාවිතයට එක් විය. මුද්‍රණ ශිල්පය සමඟ සන්නිවේදන ක්ෂේත්‍රෙය් ජනප්‍රිය සාහිත්‍යාංග විශාල වශයෙන් ප්‍රචලිත විය. පුවත්පත, රූපවාහින,ගුවන් විදුලිය, සිනමාව හා වර්තමානයේ නව මාධ්‍ය ද එයට මූලික ව ඇත. ජනප්‍රිය සංස්කෘතික අංග සමාජයේ දිගු කලක් වැඩෙමින් පවතින අතර එය මිනිසාගේ දෛනික ජීවිතය හා බැඳෙයි. ජනප්‍රිය සංස්කෘතිය හා ජන මාධ්‍ය අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයකි. ජනප්‍රිය සංස්කෘතිය ජන මාධ්‍ය මත ද ජන මාධ්‍ය ජනප්‍රිය සංස්කෘතිය මත ද රඳා පවතින බව කේ ටීියුනර් පෙන්වා දෙයි.

ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ පවතිනුයේ එකිනෙකට වෙනස් මතවාද දෙකකි.

          ■ ජනප්‍රිය සංස්කෘතිය යනු ප්‍රභූන් විසින් තමාට පහළ ස්ථරය පාලනයට යොදාගත් සංස්කෘතියක් බව.
          ■ පාලක පන්තියේ සංස්කෘතියට විරුද්ධව නැගී සිටින පොදු බලවේගය බව.

කෙසේ වුව ද මෙම මත දෙක තුළින් ම ප්‍රකට වූයේ ජනප්‍රිය සංස්කෘතිය යනු පොදුජන සංස්කෘතිය බවයි.

        ජනප්‍රිය සංස්කෘතිය විවිධ පුද්ගල හා ව්‍යාපාරික අපේක්ෂාවන් මත බිහිවන කර්මාන්තයකි. මේ තුළ ජන විඥාණයට නව අංග හඳුන්වා දෙන නමුත් එම නව අංග පුද්ගල චර්යාවට යම් ආකාරයක බලපෑමක් කළ හැක.භාණ්ඩ හා සේවා මුල් කරගත් වාණිජකරණය තුළ සංස්කෘතික නිශ්පාදන සියල්ල බහුජන මාධ්‍ය විසින් ජනප්‍රිය සංස්කෘතික අංග බවට පත් කරයි.

        ඒ අනුව ජනප්‍රිය සංස්කෘතය පවත්වාගෙන යන්නේ පාරිභෝගිකයන් විසිනි. 
ඒ අනුව ජනප්‍රිය සංස්කෘතියේ මූලිකාංග වන්නේ,
      ■ කාලය. 
      ■ තාක්ෂණික මැදිහත් වීම. 
      ■ කර්මාන්තකරණය.
      ■ ආකර්ෂණීය බව.
                                වැනි කරුණු දැක්විය හැක.


මාධ්‍යයට ප්‍රචණ්ඩත්වයෙන් මිදෙන්න බෑ....

             
              
                





         

                   මාධ්‍ය යනූ සමාජය හා ජනතාව අතර තොරතුරු හුවමාරු කරමින් සමාජීය සත්වයෙකු ලෙස සමාජය හා මිනිසා අතර සබඳතාවක් ගොඩනැගෙන තොරතුරු ගෙනයාමේ වාහකය හෙවත් සමාජය හා මිනිසා අතර සබඳතාවය ගොඩනැගීමට උපකාරීවන අතරමැදියෙකු වේ.

        මෙහි දී විශේෂයෙන් වත්මන් විද්‍යා හා තාක්ෂණයේ දියුණුවත් සමග  මාධ්‍ය සිය පැවැත්මව තරගකාරී ලෙසින් සිය තොරතුරු ග්‍රාහක ගත කිරීමක් දක්නට ලැබේ. රූපවාහිනී මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍ය මෙන්ම පුවත්පත් මාධ්‍ය පමණක් නොව වත්මන් නව මාධ්‍යයෙන් ද සෑම විටම උත්සහ දරන්නේ සැමට ප්‍රථමයෙන් සිය තොරතුරු ඉදිරිපත් කරමින් ග්‍රාහක ආකර්ෂණය දිනා ගැනීමටයි.

       කුඩා කල සිටම මානවයා නමැති සත්ව කොට්ඨාශය තුළ පමණක් නොව ඕනෑම සත්වයෙකු තුළ ප්‍රචණ්ඩත්වය නම්  වූ සාධකය ජීව විද්‍යාත්මකව පවතින්නකි. තවකෙකු පරයා නැගී සිටීමට තම අවශ්‍යතා ඉටු කරගැනීම ආදී මෙකී නොකී කවර කරුණක් උදෙසා වුව ද මනුෂ්‍ය වර්ගයා තුළ වැඩි වශයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවන්නේ තාරුණ්‍ය හෙවත් තරුණ පරපුර වීමද මෙහි සුවිශේෂයකි.

        වත්මන් මාධ්‍යයේ තොරතුරු වාර්තාකරණය වීමේ ක්‍රියාවලිය දෙස බැලූ විට සෑම විටම යම් ආකාරයකින් ඒ තුළ ප්‍රචණ්ඩත්වයක් ඉස්මතු කරන්නේ ද රටක සිටින බලය ජවය ශක්තිය සපිරි තාරුණ්‍ය සිය මාධ්‍යයන් වෙත දැඩිව ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගෙන විය හැකිය. තොරතුරු වාර්තානරණ ක්‍රියාවලිය තුළ පමණක් නොව වත්මන් මාධ්‍යයේ සෑම වැඩසටහනකම පවතින්නේ ප්‍රචණ්ඩත්වයකි.

      කුඩා දරුවන්ගේ කාටුන් පිළිබඳව ඔබ මදක් සිතා බැලුවා ද? ඒවායේ සෑම විට දක්නට ලැබෙන්නේ ප්‍රචණ්ඩත්වයකි. බෙන්ටෙන්, දගයා, සුපර් ශිවා, වීරා ආදී මේ සෑම කාටුන් වැඩසටහනක් තුළ ම සෑම විටම වීරත්වය හා බැඳි ප්‍රචණ්ඩත්වයක් ඉස්මතු කරයි. සෑම විටම ඒවා තුළ කුඩා දරුවෙකු හා බැඳි වීරත්වය පදනම් කර ගනිමින් තවකෙකු පරයා නැගී සිටීමට ඔහු සතුව පවතින ශක්තිය පිළිබිඹු කරමින් පහරදීම්, වැටලීම් ආදියෙන් ප්‍රචණ්ඩත්වයක් ඉස්මතු කරන අතරම වත්මන් කුඩා දරුවන්  වැඩි වශයෙන් ඒවා කෙරෙහි ආකර්ෂණයවන්නේ ද එකී ප්‍රචණ්ඩත්වය නිසාමවන බව මෙහි දී පැහැදිලිය.
          ඊට අමතරව ටෙලි නාට්‍ය කලාව තුළ වුව ද මෙකී ප්‍රචණ්ඩත්වය අන්තර්ගත නොවන්නක් නොමැත. ප්‍රේම සබඳතා නිසාවෙන් ප්‍රචණ්ඩත්වය ඉස්මතු කිරීම, පවුල් අරගල  නිසාවෙන්,  සමාජයේ තමන්ට නිස් තැන නොලැබීම නිසාවෙන් ආදී විවිධ තේමාවන් ඔස්සේ ටෙලි නාට්‍ය කලාවේ ප්‍රචණ්ඩත්වයෙන් ඉලක්කර ගන්නේ ද තාරුණ්‍ය වීම සුවිශේෂයකි. එලෙසම ප්‍රවෘත්ති වාර්තාකරණ ක්‍රියාවලියේ ද සෑම විටම මිනී මැරීම්, ලේ වැගිරීම්, උද්ඝෝෂණ ව්‍යාපාර ආදී ප්‍රචණ්ඩවාදී ක්‍රියාවන් හැර වෙනයමක් වාර්තා නොවන අන්දමට ඒ තුළ ප්‍රචණ්ඩත්වයක් දක්නට ලැබේ. ඕනෑම  ප්‍රවෘත්තියක එවැනි දර්ශන පවා ඉතා පැහැදිලි ලෙස ගෙනහැර දක්වන්නා සේම පුවත්පත් කලාවේ පවා වැඩි වශයෙන් ඡායාරූප ආදිය පලවන්නේ එවැනි දේ හා සම්බන්ධ වෙමිනි. මේ ආකාරයට කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ග්‍රාහක ගතවන සියලුම සංදේශයන් තුළම පාහේ මෙකී ප්‍රචණ්ඩවාදී අදහස් සමාජගත කිරීමත් සමග නිරන්තරයෙන් මාධ්‍ය සමග බැඳී හැදී වැඩෙන ග්‍රාහක මානසිකත්වය තුළ ප්‍රචණ්ඩවාදී සිතුවිලි වර්ධනය කරයි. මෑත කාලීනව තෙල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ මුස්ලිම් සිංහල ගැටුම ඊට කදිම නිදසුනකි. පෞද්ගලික  දේපළවලට ජීවිතවලට හානි සිදු කරමින් එලෙස ප්‍රදේශයක සමස්ත ජනතාව ප්‍රචණ්ඩවාදී ලෙස හැසිරීමෙහි ලා මාධ්‍යයෙන් නිරතුරුව ග්‍රාහක ගත කරන මෙම සංදේශ හේතු විය නොහැකි බව නොපැවසිය නොහැක. එවන් අවස්ථාවල දී වැඩි ලෙස භාවිතවන්නේ තාරුණ්‍ය හා බැඳෙන නව මාධ්‍ය ඔස්සේ හැඩ ගැසෙන fb වැනි සමාජ ජාල මාධ්‍යයන්  වෙයි. එයින් විවිධ පාර්ශවයන්ගේ අරමුණු ඉටු කරගැනීම උදෙසා තාරුණ්‍යය වක්‍රාකාරව  භාවිත කිරීමට තරම් ඔවුන් ප්‍රචණ්ඩත්වයට නැඹුරු කිරීමට මෙවැනි මාධ්‍යය නිසා පෙළඹීමක් සිදුවූවා සේම එයින් රටකටම නැවතත් යුද ගිනි ඇවලීමට ඉඩ නැතුවාම නොවෙයි. 
මෑත කාලීනව සිදුවන විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ උද්ගෝෂණ, සේවක වැඩ වර්ජන මෙකී ප්‍රචණ්ඩත්වයන්ගේ අතුරු ප්‍රතිඵල වෙයි. ඒ නිසාවෙන් තරගකාරීත්වය  හේතුවෙන් සිය සත්‍ය අරමුණු පසෙක ලා සෑම මාධ්‍යයක්ම ප්‍රචණ්ඩත්වයට නතුව පවතින බවක් පෙනී යයි. ඒ නිසාවෙන් වත්මනෙහි සෑම මාධ්‍යයක් ම ප්‍රචණ්ඩත්වය සිය සාර්ථකත්වයෙහි කේන්ද්‍රීය සාධකය බවට පත්කරගෙන සිටී.

Friday, June 8, 2018

රටක සංවර්ධනය යනු තාක්ෂණික දියුණුවම පමණක් ද ?


   

       







                    ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස කාගෙත් පිළිගැනීමට ලක් වූ ශී‍්‍ර ලංකාව නම් වූ මේ කුඩා දූපත ලෝකය තුළ තවමත් පිළිගැනීමට ලක් වන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙනි. සාම්ප‍්‍රදායික ලාංකීයත්වය සමඟ නූතන ලංකාව සාපේක්ෂව සංසංදනය කිරීමේ දී ම පැවති තත්ත්වයට වඩා විශාල වශයෙන් විවිධ අංශයන් ඔස්සේ අප රට දැන් දැන් ඉදිරියට පැමිණෙමින් සිටින බව කාගෙත් පිළිගැනීමට ලක් වූවකි. අතීතයේ තිබූ ඉතා දුර්වල තොරතුරු හුවමාරු කර ගැනීමේ ක‍්‍රියාවලීන් වෙනුවට විද්‍යාව හා තාක්ෂණික පුනරුදයත් සමග උරෙන් උර ගැටෙමින් හා තාක්ෂණික   සංවර්ධන විධි ක‍්‍රමයන් සමග හරඹ කරමින් කාර්යක්ෂම ලෙස තම සන්නිවේදන කි‍්‍රයාවලීන් සාර්ථකත්වය කරා  රැගෙන යාමට  වර්තමානයවන විට ලංකාවට ද සමර්ථ බවක් ලැබී ඇත. 
             
               රූපවාහිනිය, ගුවන් විදුලිය වැනි විද්‍යුත් ජනමාධ්‍ය හරහා  කෙරෙන අන්තර්ජාල භාවිතය හා ෆේස් බුක් ආදී ජාලගත මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් ක්ෂණයෙන් ලෝකයේ  සියලුම තොරතුරු දැන ගැනීමට, ඒවාට ප‍්‍රතිචාර දැක්වීමට පමණක් නොව ඍජුව තම මතවාද ඉදිරිපත් කිරීමට හැකි මතවාදීමය වේදිකාවක් ද මේ ඔස්සේ නිර්මාණය වී හමාරය. ඒ තුළින් විශේෂයෙන් ලාංකීය තාරුණ්‍යයට ලෝකය තුළ හුදකලාව විසීමට ඇති මංපෙත් අවම කරමින් තරගකාරී ලෙස ලෝකයට විවෘත වීමට ඉඩකඩ සැලසී ඇත. එය බැලූ බැල්මට ලාංකීය සංවර්ධනයේ මුදුන් මල්කඩකි. නමුත් අපට පෙනෙන්නට , දකින්නට තරම් වූ මෙකී සංවර්ධනය සත්‍ය වශයෙන්ම අප රට තුළ සිදුවන්නා වූ සංවර්ධනයක් ද. එසේම මේ ඔස්සේ මිනිසාගේ හැගීම් , ආකල්ප , සාරධර්ම , තුළින් අප බලාපොරොත්තුවන සංවර්ධනය ඒ අයුරින්ම සිදුවී ඇති දැයි යන්න සැකයකි. 
     
           තාක්ෂණික අංශයෙන්  සීග‍්‍ර සංවර්ධනයක් අත්පත් කරගන්නා රටක් වුවත් සාරධර්ම අතින් එය පිරිහීමට ලක්වන්නේ නම් එවැනි රටක් සත්‍ය වශයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි පැවසීමට වඩා එය පරිහානිය කරා ගමන් කරන රටක් ලෙස දැක්වීමෙහි වරදක් නැත. එයට ප‍්‍රබල හේතුවක්වන්නේ අප වර්තමාන ලංකාව අතීතයට වඩා දියුණු වූවක් යැයි  වසනවා නම් මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ මෙතරම් පිරිහීමක් දක්නට  දක්නට ලැබෙන්නේ ඇයි දැයි අපටම සිතීමය.
       
         ශී‍්‍ර ලාංකික සංස්කෘතික අනන්‍යතාවයේ පිළිඹිබුවක් ලෙස අප හදුනාගනු ලබන වන්නිල ඇත්තන් පවා දක්වන අන්දමට අප මෙලෙස පවසන තරම් සංවර්ධනයක් අත්පත් කරගෙන සිටින්නේ නම් පැරණි ලාංකික සමාජය තුළ නොතිබූ  අයුරින් වැඩිහිටි නිවාස , ළමා නිවාස අප රට තුළ වර්තමානයේ බිහි වී තිබෙන්නේ ඇයි දැයි යන්න  එතුමා ද ඉදිරිපත් කරන ප‍්‍රශ්නයකි.

          සත්‍ය වශයෙන් ම මෙකී ප‍්‍රකාශය පිළිබදව  අපි මදක්  නැවතී සිතිය යුතු වෙමු. එතුමා පවසන අන්දමට මෙය ලාංකීය සැබෑ සංවර්ධනය ද ? තාක්ෂණික අතින් කෙතරම් සංවර්ධනය වු ජනගහනයක් සිටිය ද ආධ්‍යාත්මික අතින් පිරිහීමට පත් වු ජනතාවක් අප  රට තුළ ජීවත්වන්නේ නම් සත්‍ය වශයෙන්ම එය සැබෑ සංවර්ධනයක් නාෙව.

           අප උරුමකම් කියූ පැරණි ලාංකීය සංස්කෘතිය තුළ කෙතරම් දුර්වල තාක්ෂණයන් භාවිතා කෙරුණද ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත් ඉහළ සංවර්ධනයකට උරුමකම්  කියූහ. පවුල නමැති සංකල්පය තුළ ඇති බැදීම් ඔවුහු නියම වටිනාකම් ලබා දුන්හ. මව , පියා , දරුවන් එකිනෙකා කෙරෙහි වගකීම් සමුදායකින් බැදී සිටියා මෙන්ම ආචාරධර්ම අතින් ඔවුන් ඉතා පොහොසත් පිරිසක් විය. මානවයා නම් වු  මනසින් උසස් යැයි පවසන සම්මත පිළිගැනීම සත්‍ය වශයෙන්ම තහවුරු වූයේ එවන් යුගයක දීය යන්න  පැවසීමෙහි වරදක් නොමැත්තේ ඒ නිසාවෙනි.

            කුඩා කළ සිට අප පෝෂණය කරමින් අපගේ අනාගතය සශ‍්‍රීකත්වය කරා රැගෙන යාමට වෙහෙස දැරූ අප ආදරණීය දෙමාපියන් පැරණි ලාංකීය සංස්කෘතිය තුළ නොසැලකිල්ලට ලක් කරමින් අත්හැර දැමුවේ ඉතා කලාතුරකිනි. ඔවුන් සැම විට තම දෙගුරුන් පමණක් නොව ගුරුවරුන් පවා උසස් කොට උතුම් කොට සැලකූහ. එය ආධ්‍යාත්මික වශයෙන් පැවති සංවර්ධනයක් නොවේ ද? නමුත් වර්තමාන ලාංකීය සමාජය පිළිබදව මොහොතක් සිතා බලන්න. අද වන විට දරුවන් දෙමාපියන් නොහදුනන තත්වයකට පත්ව සිටී දෙමාපියන් දරුවන් නොහදුනන තත්වයකට පත්ව සිටී. 

             මෑත කාලීන සිදුවීමක් වශයෙන් රට තුළ ඉතාමත් ආන්දෝලනයකට ලක් වූ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධ සිදුවීම එයට හොදම සාක්ෂියකි. හයක් හතරක් නොදන්නා අහිංසක පුංචි මල් කැකුළක් වැනි දැරියකගෙන් තම කාමාශාවන් සපුරා ගැනීමට තරම් වූ පහත් මානසිකත්වයකට අපේ රටේ මිනිසුන් පත්ව සිටින්නේ නම් එය සංවර්ධනය ද?  

         කුඩා දරුවන් මව් කුසින් බිහි වූ විටම ඔවුන් මේ ලෝකයේ ජීවියෙකු ලෙස පළමු හුස්ම පොදගත් විගසම අනාථ දරුවෙකු ලෙස මහමග දමා යාමට හෝ මරණයට  පත්කිරීමට තරම් ලාංකීය සංස්කෘතිය තුළ මව යන උදාර චරිතය විකෘති වී තිබීම අප පවසන සංවර්ධනය වෙමින් පවතින රටක නියම සංවර්ධනය ද? අප කොතරම් සංවර්ධනය වී ඇතැයි පැවසුව ද එය ආටෝප සංවර්ධයක් යැයි අපටම හැගෙන්නේ මෙවන් අවස්ථාවල දීය.

          සංවර්ධනයේ මුහුණුවරින් බටහිර රටවල් තුළින් අප රටට සංක‍්‍රමණයවන සෑම කසල ගොඩක්ම ගිජුකමින් වැළද ගැනීමට තරම් මේ වන විට ලාංකීය සමාජය නූගත්ව සිටී. කැසිනෝහල් , රාතී‍්‍ර සමාජ ශාලා , ගණිකා නිවාස ආදී විශේෂයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්තව ඇති බටහිර දායාදයන් ඔස්සේ ලාංකීය කාන්තාවට හිමි වී ඇත්තේ කෙබදු තත්වයක් ද? අද වන විට ඇය වෙළද භාණ්ඩයකි. දැන හෝ නොදැන මාධ්‍ය හරහාම ඇය මුදලට විකිණෙන වෙළද භාණ්ඩයක් බවට පත් කර හමාරය. මෙවැනි සෝභන , නිශ්ඵල කි‍්‍රයාවන් නිසාම ලාංකීය කාන්තාව ගණිකාවන් බවට පත් වීමේ වැඩි ප‍්‍රවණතාවක් පවතී.  උතුම් මාතෘත්වයේ පරිවර්තනයක් සිදු වී ඇති වා සේම හුදෙක් කාමාශාවන් සපුරාදෙන වෙළද භාණ්ඩයක් ලෙස කාන්තාව අතින් අතට යෑමේ සංස්කෘතියක් ලාංකීයත්වයට ද මේ වන විට උරුම වී ඇත.

            එපමණක් නොව රටක සංවර්ධන කාර්යයේ දී වැදගත්ම මෙන්ම වටිනාකමින් වැඩිම පිරිස ලෙස රටේ අනාගතය බාරගැනීමට සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තත්වය මේවන විට කෙබදු ද? කුඩාකල සිටම විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවූ ශිෂ්‍යයෙක්  සොයා ගැනීම අද කලූ නික සොයනවාටත් වඩා අපහසු කාර්යයකි. රට භාරගැනීමට සිටින වැදගත්ම පිරිස එසේ හැසිරෙන විට එවන් අනාගත පරපුරකට අප රට දායාද කිරීමෙන් එය අප බලාපොරොත්තුවන සංවර්ධනයක් අත්පත් කරගනී ද? මෙකී කරුණ තවමත් කිසිදු බලධාරියෙකුගේ වුවද අවධානයට ලක් වී නොමැත. රටක් ලෝකයක් සංවර්ධනය වනවා නම් එය හුදෙක් නව තාක්ෂණයන් ඔස්සේ  ම පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් ද එම සංවර්ධනය ප‍්‍රගුණ කළ යුතුවන්නේ මේ නිසා  සමාජය තුළ බැදීම් , සාරධර්ම , නීතිය සුරැකෙන තරමට එකී රට ලබන ආධ්‍යාත්මික සංවර්නය ඔස්සේ එය  ඕනෑම සමාජ බලවේගයකට මුහුණ දෙමින් සාර්ථක සංවර්ධනයක් කරා ගමන් කරනු ලබයි.

                  අප කෙතරම් උදම්වනමින් අප රට ද දැන් ප‍්‍රමුඛ පෙළේ සංවර්ධනය  වෙමින් පවතින රටක් යැයි කොතෙක් පැවසුව ද රටේ සිදුවන්නේ කෙබදු සංවර්ධනයක් ද යන්න දන්නෝ දනිති. ඒ නිසාවෙන් ප‍්‍රථමයෙන් අප අපේ දෘෂ්ඨිය වෙනස් කරගත යුතුය. සත්‍ය වශයෙන්ම සංවර්ධනයේ සැබෑ අරුත වටහා ගත යුතු ය.  අප සිතන පතන ආකාරයෙන්ම අප රට සංවර්ධනය කිරීමට නම් අප මේ දකින තාක්ෂණික සංවර්ධනයම පමණක් අපට ප‍්‍රමාණවත් වන්නේ ද? යන්න අප විසින්ම නැවත නැවතත් සිතා බැලිය යුතු වන්නේ මේ නිසාවෙනි.










   .

Tuesday, June 5, 2018

වටිනාකම් නොවටිනාකම් මැදින් ජීවිතය.


    




                                                                                                          
                            




            ජීවිතය යනු විවිධ විපර්යාස හමුවේ නොසැලී ඉදිරියට යා යුතු දිගු ගමනකි. ඇතැම් විට මේ ජීවිතය උපමා කළ හැකි අපූර්ව සංසිද්ධියකි වැස්ස. අහසේ සිට පොළවට වැටෙන වැහි බිඳු අතුරින් ඇතැම්  වැහි බිඳු  කෘෂිකර්මාන්තය සශ්‍රීක කරමින් මේ රටේ පමණක් නොව බොහෝ  පිරිසකගේ ජීවිතය පවා සාර්ථක කරගැනීමෙහි ලා  විශාල මෙහෙයක් ඉටු කරන නමුදු ඇතැම් වැහි බිදු වැටෙන්නේ කොතැනටදැයි ගලා යන්නේ කොතැනටදැයි නිශ්චිත අවබෝධයක් නොමැතිවාක් මෙන් ඔහේ ගලාගෙන යන්නේ තමාගෙන් කිසිවෙකුට පල ප්‍රයෝජනයක් ලබා නොදෙමිනි. ජීවිතය මෙවැනිම වූ දෙයකි.
           ඕනෑම පුද්ගලයෙකු මනුෂ්‍යයෙකු ලෙස මෙලොව උපත ලද දා පටන් විවිධ ආකාරයේ වටිනාකම් තමා වටා එක් රොක් කර ගනිමින් නිරන්තරයෙන් වෙහෙසෙන්නේ තම ජීවිතය වටිනා එකක් බවට පත් කර ගැනීමට වුව වර්තමානයේ ජීවත්ව
.


ඇතැම් පිරිස් වටිනාකම්වලින් කෙතරම් අනූන වුව ඒවායෙන් තම රටට පමණක් නොව තමාට ප්‍රයෝජන ලැබීමටත් පෙර ඔවුන්ගේම ජීවිතය හැර යන අවස්ථා ඕනෑ තරම්.
            අධ්‍යාපනයෙන්, ගුණධර්ම අතින් කෙතරම් වටිනාකම් අපේ ජීවිතය සතුව පැවතිය අප එවැනි වටිනාකම් අපේ ජීවිතවලට එක්කර ගත්ත ඒවායෙන් ප්‍රයෝජන නොලබා පොදි ගසා තබා ගැනීමෙන් තමාටත් තමා ජීවත්වන රටටත් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොවනු ඇත.
            මෑතකාලීනව ශ්‍රී ලාංකේය  තාරුණ්‍යය තුළ පමණක් නොව ඕනෑම රටක සංවර්ධනයේ පැවැත්ම කෙරෙහි සුවිශේෂීම පිරිසක්වන තරුණ පරපුර තමාගේ වටිනාකම් තුළින් පල ප්‍රයෝජන ලැබීමටත් පෙර තම ජීවිතය අතහැර නැවත නොඑන්නටම යන අවස්ථා ඕනෑ තරම් වේ. අධ්‍යාපනයේ ඉතා අසීරු කඩඉම් පවා ජයගෙන විශ්වවිද්‍යාල වරම් ලද බුද්ධිමත් යැයි පිළිගන්නා තාරුණ්‍යය තුළ සිය දිවි නසා ගැනීම් වර්තමානයේ සුලභ කරුණකි.
            ප්‍රේම සබඳතා නිසාවෙන් හෝ වෙනත් කුමන හේතු සාධකයක් නිසාවෙන් හෝ ඔවුන් මෙපමණ කලක් තම  ජීවිතයට එක්කරගත් වටිනාකම් අගයන් තුළින් තමාගේ රටට තමා හැදූ වැඩූ  මවුපියන්ටවත් යුතුකම් ඉටු කිරීමට පෙර මෙවැනි තීරණවලට එළඹීම ඉතාමත් කනගාටු දායක තත්වයකි.
            එහෙත් මෙවන් පිරිස් අතුරින්  තවත් පිරිස් හිසට වහලක් හිතට නිවනක් නොමැතිව වුව තමාට ලද ජීවිතය කෙසේ හෝ ගැට ගසා ගන්නට උත්සහ දරති. ඔවුන්ගේ ජීවිතයට කිසිදු වටිනාකමක් එක් කර ගැනීමට නොහැකි වුව තමා ලද මිනිසත් බවේ වටිනාකම රැකගෙන ජීවිතය ජයගැනීමට ඔවුහු වෙර දරති අධ්‍යාපනයෙන් ධනයෙන් සශ්‍රික නොවුව ආත්ම ශක්තිය, අභියෝග ජයගැනීම වැනි වටිනාකම් ඔවුන් උපදින විටම තම දෑතේ මිට මොලවාගෙන පැමිණියා වැනිය.
           ඕනෑම සමාජ ක්‍රමයක මෙකී දෙපිරිසම ජීවත් වෙයි. එනම් වටිනාකම් තිබුණ එහි ඵල ප්‍රයෝජන නොවිඳින පිරිස් හා වටිනාකම් නොමැති වුව කෙසේ හෝ තම ජීවිතය රැක ගැනීමට උත්සහ දරන පිරිස් ලෙස ඕනෑම සමාජයක මානව කණ්ඩායම් දෙපිරිසක් ජීවත් වෙයි.
           ඕනෑම පුද්ගලයෙකු තම ජීවිතයට වටිනාකම් එකතු කර ගනු ලබන්නේ ඒවා පොදි ගසාගෙන මිය යාමට නොව එයින් තම රටට ජාතියට යුතුකම් හා වගකීම් ඉටු කිරීමටය. නිසාවෙන් වඩා වැදගත්වන්නේ වටිනාකම් එක්කර ගැනීම පමණක් නොව එයින් තමාට මෙන්ම තම රටට තමා හැදූ වැඩූ මවුපියන්ට යහපතක් සැලසීමටය.
          අධ්‍යාපනයෙන් ධනධාන්‍යයෙන් කොතරම් සශ්‍රීක වුව යමෙකුට මේ ජීවිත ගමනෙහි එන අනේකවිධ බාධක හමුවේ නොසැලී මුහුණ දීමට ආත්ම ශක්තියක් නොමැත්තේනම් එවැනි අයෙකු වටා කොතරම් වටිනාකම් එක් රැස් වී තිබුණ පලක් නොවේ. නිසාවෙන් මිහිපිට ජීවත්වන  අප සෑම විටම උත්සහ දැරිය යුත්තේ වටිනාකම් එකතු කර ගන්නවා සේම ඒවා තුළින් අපට මෙන්ම අප ජීවත්වන රටට සමාජයට අප හැදූ වැඩූ මවුපියන්ට එයින් පල ප්‍රයෝජන ලබා දීමටය.
          වටිනාකම් නොවටිනාකම් මැදින් අප මේ ගෙවන ජීවිතය අපට සාර්ථක කරගත  හැකිවන්නේ අප ආකාරයෙන් කායිකව  මෙන්ම මානසිකව සංවර්ධනය වුව හොත් පමණි.

                                                  photo by: Tharika Sadamini