Tuesday, July 31, 2018

සමාජීය පරිවර්තනයන් හමුවේ අහිගුණ්ඨික ජනයා....



           නෑම සමාජ ක්‍රමයක් සමඟ අවියෝජනීය වශයෙන් බැඳි පවතින දෙයක් වශයෙන් සංස්කෘතිය හඳුනා ගත හැකිය. යම් සමාජයක් හැඳින්වීමට බලපාන කරුණු අතර සංස්කාතිය ප්‍රධාන අංගයකි. යම් සමාජ ක්‍රමයක ස්වාභාවික දෙයට අමතරව මිනිසා විසින් නිර්මාණය කරනු ලැබු දෙය ගොඩනැගූ දෙය සංස්කෘතිය සෙ සරලව අර්ථ දැක්විය හැකිය.

සංස්කෘතිය සම්බන්ධයෙන් ප්‍රථමවරට විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර ඇත්තේ E.B ටයිලර් යැයි පැවසේ. ඔහු දක්වන පරිදි සංස්කෘතිය යනු දැනුම ඇදහිලි කලාවන් සාරධර්ම නීති රීති සිරිත් විරිත් හා සමාජගත  ජීවියෙකු වශයෙන් මිනිසා ලබාගත් සෙසු හුරුපුරුදු දක්ෂතා යනාදී සියල්ලේ එකතුවයි.
                            
ඔහුගේ නිර්වචනයට අනුව සංස්කෘතියෙන් මිනිසුන්ගේ සමස්තය පිළිඹිබුවන බව දක්වයි. ඕනෑම පුද්ගලයෙකු යම් සමාජ ක්‍රමයක ජීවත් වීමේ දී ඔහුගේ හැසිරීම් සිරිත් විරිත් ඇඳුම් පැළඳුම් ආදියෙන් පිළිඹිබු වන්නේ ඔහුගේ සංස්කෘතිය බව මෙම නිර්වචනයෙන් පැහැදිලි කරයි. එසේ ම තවත් තවත් ආකාරයකින් දක්වන්නේ නම් සංස්කෘතිය පූර්ණ සමාජික සම්ප්‍රදායක් රටාවක් නැතිනම් උරුමයක් ලෙස දක්වයි.
තවත් ප්‍රකට මානව විද්‍යාඥයෙකුවන රැල්ෆ් ලින්ටන් පවසන පරිදි 
මිනිසා පරම්පරාවෙන් පරම්පරාවට දායාදයක් වශයෙන් ගෙනයන ජිවන රටා සමුදාය සංස්කෘතිය යන්නයි.

ඔහුගේ නිර්වචනයට අනුව සංස්කෘතිය යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශණයවන්නක් බව පෙන්වා දෙයි.සංස්කෘතියෙහි ලක්ෂණ පහසුවෙන් හඳුනා ගැනීමට එය වර්ගීකරණය කිරීමට සමාජ මානව විද්‍යාඥයින් උත්සහ දරා තිබේ.ඒ අනුව සංස්කෘතියේ ප්‍රධාන කොටස් දෙකකි.

01 භෞතික සංස්කෘතිය- මිනිසා විසින් නිර්මාණය කරගත් දේ 
02 අභෞතික සංස්කෘතිය- කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන අදහස්    උදහස් ආදිය.

මේ ආකාරයෙන් විග්‍රහ කළ හැකි මහා සංස්කෘතික සමාජයෙහි විවිධ සාධක මත පදනම් වෙමින් විවිධ කුඩා කණ්ඩායම් බිහිව පවතී.කණ්ඩායම්වල එකිනෙකට ඇති සම්බන්ධතාව අඩුවීම නිසා මානව සමාජයේ කුඩා කණ්ඩායම් ගොඩනැගී ඇත. මෙසේ විහේදනය වීමට බලපාන විවිධ වූ සාධකයන් තිබේ.වයස,හැකියාව,අදහස්,විශ්වාස, රුචි-අරුචිකම් යනා දී විවිධ හේතු සාධකයන් මෙයට මුල් වූ බව කිව හැකිය. සමූහ තුල දක්නට ඇති කුඩා සමූහ ගැන සමාජ විද්‍යාඥයෙකුවන ටී.බී බොටමොර් මෙසේ  සඳහන් කරයි.  ඓතිහාසික වශයෙන් පරික්ෂා කර බලන විට කුඩා සමාජය නිසා නිර්මාණය වී ඇත.

උදා: නූතන බටහිර පවුල කාර්මිකත්වයේ ප්‍රථිඵලයකි.එසේ ම පිටිසර ගමේ විපර්යාසය ඒ ගම පිහිටා තිබෙන සමාජයේ සාමාන්‍ය වෙනස් වීම බව කිව හැකිය.
                                                                                     
කුඩා කණ්ඩායම් හි ප්‍රභවය පිළිබඳව මෙන්ම එහි ස්වභාවය ගැන ද විවිධ සමාජ හා මනෝ විද්‍යාඥයන් කරුණු ඉදිරිපත් කර තිබේ.සමාජ විද්‍යාඥයෙකුවන චාල්ස් හෝටන් කුලී විසින් ප්‍රාථමික සමූහ පිළිබඳ කළ විවරණයකින් කුඩා සමූහයන්ගේ ලක්ෂණ මෙසේ පැහැදිලි කර දක්වයි.

      “ප්‍රාථමික සමූහ යනුවෙන් මා අදහස් කරන්නේ කුළුපග මුහුණට මුහුණලා ඇසුරු කරන සහයෝගීතාවක් ඇති සමූහයයි.අර්ථ කීපයකින්ම ඒවා ප්‍රාථමික වන නමුත් ප්‍රධාන වශයෙන් පුද්ගලයාගේ සමාජය ස්වභාවය සකස් කිරීමෙහි ලා මුල් තැනක් ගන්නා බැවින් ඒවා ප්‍රාථමික සමූහ වෙයි”
                                
ඔහු දක්වන පරිදි කුඩා කණ්ඩායමකට මුහුණට මුහුණලා සන්නිවේදනයේ යෙදීමට හැකි අතර විශේෂ හේතු සාධකයන්  මත ඔවුන්ගේ ඒකාබද්ධතාව රැඳී පවතින බව පෙන්වා දෙයි.මහා සංස්කෘතික සමාජයෙහි පවතින  විවිධ සාධක පදනම් කරගනිමින් බිහිව ඇති මෙම කුඩා කණ්ඩායම් තුළ විවිධ උප සංස්කෘතීන් පවතී.

ප්‍රකට සමාජ විද්‍යාඥයෙකුවන ඇල්බට් කොහේන් පවසන පරිදි,
“ඕනෑම රටක විවිධ  සමාජ ස්ථරවලට අනුව උප සංස්කෘතීන් ගණනාවක් බිහිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.” උප සංස්කෘතියක් තුළ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි පොදු සංස්කෘතියට අතිරේකව පැන නැගුණු විවිධ සාධක මුල් කරගත් ලක්ෂණ පවතී.ඕනෑම සමාජයක බහු ජාතික සහ බහු ආගමික පදනම මත ද සමාජ ආර්ථික පදනම මත ද කුල ධූරාවලිය මත ද උප සංස්කෘතීන් ගණනාවක් හඳුනා ගත හැකිය. ඔවුන් ප්‍රධාන සංස්කෘතිය සමඟ නොගැටෙන අතර ඊට අනුගත වෙමින් උප සංස්කෘතික අංග අඛණ්ඩව විධිමත් ලෙස පවත්වා ගනු ලැබේ.

ඒ අනුව යම් සමාජයක උප සංස්කෘතිය බිහි වීම කෙරෙහි බලපානු ලබන ඉහත සාධක සැලකිල්ලට ගැනීමේ දී ලාංකීය සමාජයේ මහා සංස්කෘතියෙහි ද එවැනි උප සංස්කෘතීන් ගණනාවක් පවතින බව දැක්විය හැකිය.ඉන් එක් ප්‍රධාන උප සංස්කාතික කණ්ඩායමක් ලෙස ලාංකීය අහිගුණ්ඨික ජනතාව හඳුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ කුඩා ජන කණ්ඩායම් ලෙසින් ජීවත්වන ඔවුන්ටම ආවේණික සංස්කෘතියක අනන්‍යතාවක් පවත්වාගෙන යන ජන කොටස් අතර අහිගුණ්ඨික ජනතාව ද සුවිශේෂී ජන කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.ලංකාවේ උතුරු මැද,වයඹ,නැඟෙනහිර,සබරගමු යන ප්‍රදේශවලින් හඳුනාගත හැකි මෙම ජනතාවගේ සුවිශේෂීම චර්යාවක්වන්නේ එක් තැනක සත් දිනකට වඩා  කල්ගත නොකිරීමවන නමුත් අදවන විට මෙම පිරිසෙහි සංස්කෘතික අංගයන් ද විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් පවතී.ශ්‍රී ලාංකික ආදිවාසී ජන කොටසක් නොවන අහිගුණ්ඨික ජනයා ඉන්දියාවේ සිට පැමිණ ලංකාවේ බස්නාහිර වෙරළෙන් රට මැදට,ඊසාන දිග වෙරළෙන් රට පහළට ද කණ්ඩායම් බෙදී ගමන් කර නිශ්චය කර ගත් ප්‍රදේශයක වැඩිපුර රැැදෙමින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවිතය ඇරඹීය.



ඔස්ට්‍රොලොයිඞ් මානව වංශ ලක්ෂණ සහිත මෙම ජනතාවගේ නාමය අර්ථ විග්‍රයට බඳුන් කළ හොත්,

   

 පාලි වදනින් "අහි" යනු සර්පයායි.කුණ්ඩික යනු, ගැටයා :අල්ලන්නා" යන්නයි.ඒ අනුව නයි නටවන්නා,නයි පනික්කියා යනුවෙන් අහිකුණ්ඨිකයා විස්තර කරයි.
                                                                     
තවත් ආකාරයකට මෙය පැහැදිලි කළහොත්,

අහි ආහි කුණ්ඩික යන්න කෙසේ බිඳී ආ ශබ්දයක් දැයි නිශ්චය නැත.සංස්කෘත භාෂාවෙන් තුණ්ඩ යනු තුඩය.සමහර විට නයාගේ තුඩ  පෙණය සමඟ සෙල්ලම් කරන්නා යන අරුත ගෙන දීමට මෙය යෙදෙන්නට ඇත.
                                                           
පාරම්පරික කුඩා කණ්ඩායමක් ලෙස මෙම පර්යේෂණයේ දී තෝරා ගනු ලබන්නේ අහිකුණ්ඨික ජනතාවයි.මහජාතිය කතා කරන භාෂාව කතා නොකිරීම මොවුන්ගේ එක් ප්‍රධාන ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය.වෙනත් කුලයන් හා දැඩි මිත්‍රතත්වයක් අහිකුණ්ඨික ජනයාගේ නොමැති අතරම වර්තමානයේ දී ඔවුන්ටම විශේෂිත වූ ස්ථිර ජනාවාස ද පවතී.1989 දී,

අනුරාධපුර-කුඩාගම
ගල්ගමුව-අන්දර කැලේ 
අනුරාධපුර-කලාඔය

අක්කරෛප්පත්තුව-අලිකම්බෛ හි යන ප්‍රධාන ප්‍රදේශ කීපයක් මුල්කරගෙන එවකට සිටි රජය  අහිගුණ්ඨිකවරුහට ස්ථිර නිවාස,ඉඩම් හා කුඹුරු ප්‍රදානයක් සිදු කිරීමෙන් අනතුරුව එම ස්ථිර ජනාවාස බිහිවන ලදී.මෙම ජනාවාස අතරින් මාගේ පර්යේෂණයට පදනම්වන අහිගුණ්ඨික ගම්මානයවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කුඩා ගම්මානයයි.තඹුත්තේගම පසුකොට බැඳි වැව හන්දියේ සිට වම්පසට ඇති ඇලපාර ඔස්සේ කි.මී 2ක් පමණ ගිය පසු හමුවන ගම්මානය කුඩා ගම්මානය වේ.මෙම ගමෙහි ඇති සුවිශේෂීයත්වය වන්නේ ගම මැදි කොට වැව පිහිටා තිබෙන අතර කුමන මාර්ගයකින් පිවිසුන ද අවසානය වැව කෙළවරින් අවසන් වීමක් දැකිය හැකි වීමයි.
                                                             
1954 වර්ෂයේ තඹුත්තේගම නල්ලච්චිය වැව අසල කුඹුක් වැව ග්‍රාමයේ වව්නියා ප්‍රදේශයෙන් පැමිණි අහිගුණ්ඨික පිරිසක් වාඩි ලා ගෙන සිටින්නට වූ අතර මුත්තු සාමි මේ අහිගුණ්ඨික පිරිසේ නායකයා විය.
                                                                
ඉන් අනතුරුව 1976 මහවැලි  ව්‍යාපාරය ඔස්සේ එම පවුල් පදිංචි කර ඇති අතර 1984වන විට රාජාංගණය වැව අසල ඔවුන් පදිංචි කරවා 1948 අංක 18 දරණ පනත යටතේ මෙම පවුල්වලින් මූලික පවුල් විසි පහකට ලංකා පුරවැසිභාවය ලබා දී තිබේ.මෙම ජනතාව එම ස්ථානයේ පදිංචි කරවන විට අක්කර 2 1/2ක පමණ කුඹුරු ඉඩම් ප්‍රමාණයක් ද ඔවුන්ට ලබා දී තිබේ.

වර්තමානයේ දී මෙම පවුල් සියල්ල සඳහාම වෙන වෙනම ස්ථිර නිවාස ඇති අතර බුද්ධාගම හා ක්‍රිස්තියානි ආගම ඔවුනගේ ප්‍රධාන ආගම සේ  සලකනු ලබයි.එලෙසම විදුලිබලය, ජන මාධ්‍යය භාවිතයේ පහසුකම් හා වෙනත් නවීන අංගෝපාංගයන් ද මෙම නිවෙස්වල අදවන විට දැකිය හැකිය.

අම්මා.....








තෙරක් නොපෙනෙන වියළි කතරට
වැටුණු මහ වැස්ස ඔබය.......
ජීවිතය නම් වූ දිගු ගමනේ
යා යුතු
නොයා යුතු මඟ පෙන් වූ
පහන් තරුව නුඹය..........
ආදරය යන වචනාර්ථය
නිර්ලෝභීව ලබා දුන්නේ
ඔබය........
නොලැබීම් හමුවේ 
වැටෙන්නට නොව....
ලැබීම් හමුවේ නැගී සිටින්නට
හිතට දිරිය දුන්
උතුම් කත නුඹය.......
මේ සංසාරය පුරාවට 
ජීවිතය ආලෝකමත් කරන
ජීවිතයට පාර පෙන්වන
උතුම් ප්‍රදීපාගාරය නුඹය.........

Sunday, July 22, 2018

අනුකරණය හමුවේ ශ්‍රී ලාංකීය කාන්තාවගේ දැක්ම නිවැරදි ද ?






   දියුණු වන ලෝකෙයේ සිදුවන සමාජ පරිවර්තනයන් හමුවේ සමාජ ක්‍රමය තුළ කාන්තාවකගේ භූමිකව අදවන විට විශාල වෙනසකට බඳුන් වෙමින් පවතී. පැරණි ශ්‍රී  ලාංකීය සමාජ ක්‍රමයේ ගේ මුල්ලට ව හැදී වැඩුණු කාන්තාව අද වන විට ලෝකයේ සියලු නවීකරණයන් සමඟ උරෙන් උර ගැටෙමින් පුරුෂාධිපත්‍යය බිඳ හෙළමින් සමාජය තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට වෙර දරන බව පෙනී යයි.

   විශේෂයෙන් ලෝකයේ සිදු වූ  තාක්ෂණික පරිණාමයන් හමුවේ බිහි වූ  රූපවාහිනිය වැනි මාධ්‍යය හරහා කාන්තාවගේ සමාජ භූමිකාව වෙනස් කිරීමෙහි ලා සැලකිය යුතු දායකත්වයක් සපයන බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. මෙම කරුණ තහවුරු කිරීමෙහි ලා වැඩි වශයෙන් බලපාන්නේ විදේශීය මෙගා ටෙලිනාට්‍ය වෙයි.

 පවතින රැල්ල හමුවේ රූපවාහිනී නාලිකා අතුරින් එකක් දෙකක් හැරෙන්නට සෑම නාලිකාවක්ම පාහේ තම විකාශන කාලයෙන් වැඩ ඉඩකඩක් වෙන් කරන්නේ විදේශීය මෙගා ටෙලි නාට්‍ය වෙතයි. ඒවාගේ නිරූපිත කාන්තා චරිත හමුවේ ඒවාට නතුවන ප්‍රේක්ෂක පිරිස අතරින් බහුතරයක් කාන්තාවන් එම ටෙලිනාට්‍යයන්හී නිරූපිත කාන්තා චරිත කෙරෙහි වැඩි වශයෙන් ආකර්ෂණයවන බවක් පෙනෙන්ට තිබේ.

 මෙපමණක් නොව අදවන විට බොහෝ කාන්තා විලාසිතාවන් හි පරිවර්තනයන් කෙරෙහි ද විදේශීය මෙගා ටෙලිනාට්‍යයන්හි බලපෑම ඉමහත්ය. විවිධ සාරි විලාසිතාවන්, කොණ්ඩා  විලාසිතාවන් ලාංකීය කාන්තා චරිතයට එක් ව ඇතිවා සේම ඇතැම් තැන්හි දේශියත්වය පරයා නැගෙන සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වීමක් ද දක්නට නැතුවා නොවෙයි.
විදේශීය මෙගා ටෙලි නාට්‍යයන්හ නිරූපිත කාන්තා චරිත තරම් ලාංකීය කාන්තා ජීවත සාටෝපවත් නැත. ඒ නිසාවෙන් අවිඥාණිකව මෙවැනි විලාසිතා ආදිය වැළඳ ගැනීම සංස්කෘතියට නිගරුවක් වනවා පමණක් නොව එය තමාගේ ආරක්ෂාව කෙරෙහි ද ගැටලු සහගත තත්වයන් ඇති කරයි.

 ඒ නිසාවෙන් ඔනෑම දෙයක් දැකීමෙන් පමණක් තමාගේ ජීවිතයට සමීපකර ගැනීමට පෙර තමා ජීවත් වන සමාජ ක්‍රමය සංස්කෘතිය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

 පවතින සමාජ පරිවර්තනයන් හමුවේ තම ගෞරවය අභිමානය රැකගනිමින් විකිණෙන අතින් අතට යන සිල්ලර භාණ්ඩයක්  නොවී කාන්තාවකගේ සමාජ භූමිකාවේ ඇති උත්තරීතර වටිනාකම අැය අවබෝධ කර ගත යුතුය.

Saturday, July 21, 2018

අසම්මත පෙම.....

              
                                 








හදවතක ඉකි බිඳුම් හඬ නැගෙන රාත්‍රියක
ඔබත් හිදී නිසලව.... 
මමත් හිදී නිසලව... 
කාට කියන්න ද කවුරු අසන්න ද අපේ කතා.....

සෙමින් නැගෙන අර සඳ
හොරෙන් බලයි අප දෙස
පුන් සඳේ ඉතිං මේ බව 
කියනු එපා ලෝකෙට

අසම්මත පෙමක බැඳි අප
හෙළන දුක් සුසුම් නිමක් නැත
ඔබත් හිදී නිසලව 
ඇයත් හිදී නිසලව 
යා යුතුය සමුගෙන 
අහිමි පෙම්වතියේ.....


හුදකලාව.


                     

                                    
                                    








   ජීවිතයේ සමහර වෙලාවට අපට තනිකම දැනෙන විට  අපි අපට ලැබෙන හැමදේම ළං කරගන්න උත්සහ ගන්නවා. හැම කෙනෙක්ම හුදකලා වෙන්න තනිවෙන්න ඒ තරම්ම අකමැතියි. හැබැයි ඒ හුදකලාව අපට අපේ ජීවිතයට ගොඩක් පාඩම් කියලා දෙනවා. 

    අපි අපේ හිත එක්ක තනිවුණ වෙලාවලට සමහර දේවල්වල නොදැකපු පැති අපටම දකින්න පුලවන්. හයක් හතරක් නොතේරෙන කාලේ දෙමව්පියෝ, ගුරුවරු අපට අපේ  ජීවිතය කියලා දෙනවා වගේ සමහර වෙලාවට තනිකමත් අපට ගොඩක් දේවල්  කියලා දෙන පාඩම් පොතක් බවට පත් වෙනවා.

    අපි තනිවෙන්න ඕන අපි අතීතතයේ කළ වැරදි අඩුපාඩු සිහිකර දුක් වෙන්නට හෝ අනාගතය ගැන සිතා හීන මාළිඟා සෑදීමට නොව මේ දෙක අතර තියන වර්තමානය ගොඩනගාගෙන ජීවත් වෙන්න.

    අපි කෙතරම් අකමැති වුවත් ඕනම කෙනෙක්ගේ ජීවිතවලට ඒ තනිකම කුමක් හෝ පාඩමක් කියාදුන් අවස්ථාන් හැමකෙනෙක්ගෙම ජීවිතවල ඇති.ඒ තනිකමත් සමඟ හිතට ලැබෙන ශක්තිය අපේ ජීවිතවලට නියම විදිහට එක් කරගන්න හැකි නම් ඒ ශක්තියෙන් අපට මේ සමාජයේ තිබෙන ඕනෑම දේකට නොබියව මුහුණ දෙන්න පුලවන් වේවි. 

    ඒ වගේ ම ඒ තනිකමත් සමඟ අපි අපේ ජීවිතේ පරාද වූවොත් කවදාවත් නැවත නැගිටින්න බැරි තරමට මුලු ජීවිතේම කඩා වැටේවි.  ඒ නිසාවෙන් හුදකලාව තනිකම අප සෑම විටම අපේ ජීවිතයට ශක්තියක් කර ගත යුතුය.

Friday, July 13, 2018

ජනමාධ්‍ය ආචාරධර්ම යනු..

                
                            




              සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද ජනමාධ්‍ය හේතු වේ. වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ත සමාජයට ප්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය, සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද, ඒ දෙක අතර ප්‍රබල වෙනසක් ද දක්නට ලැබේ. නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැත.

            ආචාරධර්ම යනු දර්ශන  විෂය තුළ සමාජ ක්‍රියා, සමාජ අන්තර්ක්‍රියා සහ මානසික සාධක පාදක කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. මෙය සදාචාරය පිළිබඳ මූලධර්ම පදනම්ව තාර්කීකරණය වී තිබේ. සදාචාරය සහ සාරධර්ම යනු එකිනෙකින් වියුක්ත කළ නොහැකි සංයුක්ත වූ සංකල්ප දෙකකි. ආචාර ධර්ම සහ එහි ක්‍රමවෙිදාත්මක ස්වරූප සෞන්දර්යවේදාත්මක දෘෂ්ටිය තුළ වුව ද ව්‍යුහගත කළ හැකි අතර එය සාරධර්මවේදය  පිළිබඳ දර්ශනය ලෙස ද සැලකේ. මෙය කායික, මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් බව ද පැහැදිලි ය. ඒ අනුව මේ තුළින් සමාජ පද්ධතික ස්වරූපයක් මෙන්ම මූලධර්මීය  ලක්ෂණ ද ඉස්මතු වන බව පෙනේ. මෙම සාධක අනුව මෙහි සමාජ විද්‍යාත්මක කාරණා, මනෝ විද්‍යාත්මක කාරණා මෙන්ම ආගමික කාරණාවන් ද බද්ධ වී ඇති බැව් පැහැදිලිය. ආචාර ධර්ම පිළිබඳ දාර්ශනිකව සමාජය මෙහෙයවීම සොක්‍රටීස්  විසින් සිදු කරනු ලබන්නේ ද මෙම පදනමෙහි පිහිටමිනි.

           මෙම දාර්ශනික මත පිළිබඳ අවධානයේ දී ආචාර ධර්ම යනු දැනුම  පදනම් කොටගත් ක්‍රියාවලියක් වන බවත්, අනෙකුත් සියලූ කාරණා මෙයට දෙවෙනි වන බවත් පැහැදිලි වේ. මෙම මූලධර්ම මත ආචාර ධර්ම සංරක්ෂණය වන සමාජය දැනුම් සමාජයක් වන බවත්, එය බිඳ වැටුණු මානව ක්‍රියාවලිය තුළ සමාජයක් පවතී ද යන්න සමාජ විද්‍යාත්මකව සිතිය යුතු ගැටලූවක් බවත් පෙනේ. යම් සමාජයක් පොදු අරමුණකට පැමිණීම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි. එය සමාජයක් යන්න අර්ථවත් වීමේ ප්‍රධාන මූලිකාංගයකි. මේ පිළිබඳ ස්වයං සම්ප්‍රජානනයෙහි  යෙදෙන්නා සමාජ සංවර්ධනයෙහි කෘත්‍යාත්මක අරමුණු සඳහා පිළිපන් කෙනෙකු බවත් මෙයට පිටුපාන්නා සමාජ පර්යාය තුළ ගැටලූ නිර්මාපකයෙකු බවත් දර්ශනාත්මක සත්‍යතාවකි.

      සමාජයෙහි කේන්ද්‍රීය ලක්ෂය පුද්ගලයා වේ. පුද්ගල ඓක්‍යයෙන් තොරව සමාජයක් නිර්මාණය නොවේ. පුද්ගලයා යනු සමාජ පද්ධතියෙහි ක්‍රියාකාරකයෙකි. ඔහුගේ අවශ්‍යතා සහ ඔහු වටා ගොඩ නැගෙන සියලූ කාරණා ඔහුට බලපාන අතර එය සමාජ කාරණා බවට ද පරිවර්තනය වේ. ඔහුව මෙහෙයවන්නේ සමාජ පද්ධතික කාරණාවන්ය. සමාජය යන්න ඇති තැන නිදහස නැති බවට ද ඇති තර්කයකි. පුද්ගල ආත්ම ඥාන සංවර්ධනයේ දී මෙම ව්‍යුහීය කාරණා වැදගත් වේ.

   පුද්ගලයා සමාජ ජීවිතයේ දී හොඳ  නරක කාරණා පිළිබඳ උපග්‍රහණය කර ගන්නා අතර හොඳ ප්‍රවර්ධනය කර ගනු ලබන්නේ සමාජ ක්‍රියා සහ එහි ප්‍රගමන කාර්ය සඳහා ය. හොඳ, නරක යනු සමාජ නිර්මාණයකි. නරක ප්‍රවර්ධනය තුළින් ද සමාජ පර්යායෙහි දිශානතිය වෙනස් විය හැකි ය. බුද්ධිමය සහ ආධ්‍යාත්මික දියුණුව අපරාධමය කාරණා නොකැඳව යි. නිවැරදි බව විඥානගත වූ කල්හි එය නිරායාසයෙන්ම ක්‍රියාවට නැගෙන බව ග්‍රීක දාර්ශනික සොක්‍රටීස්ගේ ද මතය යි. මෙහි ප්‍රතිවිරුද්ධ සාධකය ද මෙම තර්කය තුළම සාධාරණීකරණය කළ හැකි ය.

       ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය ලක්ෂණය කි. එය අර්ථවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයනට අනුගතව ය. ආචාර ධර්ම වල උපයෝගීතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්දර්භයනට ප්‍රවේශ වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවූවත් සමාජීය මිනිසකු වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කළ හැකි අයෙකි. සමාජයෙහි නියම ස්වරූපයන් හඳුනාගැනීමට නම් එම සමාජයෙහි සාමාජිකයෙකු බවට පත් විය යුතු ය. මාධ්‍යවේදියා තුළ ගොඩ නැගෙන අසතුට සහ ඉච්ඡා භංගත්වය, එම සමාජ සංසිද්ධීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයෙන් ඔහුව ඉවත් කරයි. ඔහු සමාජ පර්යේෂකයෙකි. ඔහු සතු වෘත්තීය පුහුණුව, සමාජ පිළිබඳ විද්‍යාත්මක දැනුම සහ ඒ පිළිබඳ චින්තනමය හැකියාව, ආචාර ධර්මීය පදනම, සමාජ ප්‍රවර්ධනය සඳහා ගුණාත්මක හැසිරීම ආදිය වෘත්තීය මාධ්‍යවේදියා සාමාන්‍ය මාධ්‍යවේදියාගෙන් වෙන් කරනු ලබන සුවිශේෂී ලක්ෂණ වේ. වෘත්තක භාවය සහ ඒ පිළිබද ගැරඹුරු දැණුම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි.

   මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී බටහිර ප්‍රධාන මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡාවට භාජනය කළ හැකි ය. එනම්,
1. සත්‍යවාදී බව. 
2. නිදහස. 
3. හානිය අවම කිරීම.
4. වගකිව යුතු බව.
යනා දී වශයෙනි.
ජනමාධ්‍ය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍ය වීම සඳහා තොරතුරු වල නිරවද්‍යතාවය  බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක් ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු ලෝකයක ජීවත් වන අතර එය නිවැරදි නොවන විට ජනමාධ්‍ය සහ ප්‍රජාව අතර පවතින අනුකලනාත්මක සබඳතාව ද බිඳ වැටේ.
ප්‍රජාව ගුණාත්මක මාධ්‍ය ක්‍රියාවලියක් බලාපොරොත්තු වන අතර එය සත්‍යවාදී , නිවැරදි සහ සාධාරණ  විය යුතු ද වේ. නිවැරදි බව ගොඩ නැගිය යුත්තේ ඒ පිළිබඳ දුටු පමණින් හෝ ඇසූ පමණින් නොව ඒ පිළිබඳ ගැඹුරු චින්තනමය සහ පර්යේෂණාත්මක දෘෂ්ටියකිනි. සාධාරණ බව සත්‍යවාදී බව මත පදනම් වන අතර එය සිද්ධියට භාජනය වන්නාගේ ප්‍රවේශයේ සිට ගොඩ නැංවීම වැදගත් වේ. සත්‍යවාදී බව මානව වර්ගයාගේ  සහවාසීකරණය සඳහා ඉතිහාසයේ සිටමගොඩ නැගුනු ගුණාංගයකි. ගුටෙන්බර්ග්ගේ  කාලයේ සිටම මාධ්‍යයේ මූලිකම ගුණාංගයක් ලෙස මෙය ගොඩ නැගුණු බැව් පෙනේ. දර්ශනය ආදී විෂයන් තුළ, නෛතික ක්ෂේත්‍ර තුළ, ආගමික, දෙමව්පිය, ගුරු ආදී සමාජ පද්ධති තුළ අනුකලනාත්මක බව මෙය පදනම්ව ගොඩ නැගුනි.
සත්‍යවාදී බව ගිලිහෙන විට සමාජ අනුකලනය සහ විශ්වසනීයත්වය ද බිඳ වැටෙනු ඇත. සත්‍යවාදී බව තුළ මානව ගරුත්වය සුරැකෙන අතර පුද්ගලයා පරයා යාමේ පදනම් ද බිඳ වැටෙනු ඇත. එමෙන්ම අන්‍යෝන්‍ය තේරුම් ගැනීම් ගොඩ නැගෙනු ඇත. තොරතුරු අභිනතියෙන් තොරව සාධාරණීකරණය වීම අත්‍යවශ්‍ය වේ.
     ආචාර ධර්මීය ස්වරූප සහ එහි හැසිරීම් තුළ මාධ්‍ය නිදහස ගොඩ නැගෙනවා ද නැතහොත් මාධ්‍ය නිදහස සමාජ පද්ධතියට පරිබාහිර සාධකයක් ලෙස සිට සමාජයට බලපෑම් කරන්නේ ද යන්න පිළිබඳ තර්කනය අතිශය වැදගත් ය. නිදහසේ තොරතුරු දැනගැනීම සහ නිදහස් තොරතුරු දැනගැනීම තුළ ඇත්තේ ද ආකෘති දෙකකි. නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති අතර නිදහසේ තොරතුරු සහ මත බෙදාදීමේ අයිතිය ද පැවතීම තුළ මාධ්‍ය වෘත්තිකභාවය තුළ ගැටලූ මතු වේ. ඒ ඕනෑම වෘත්තියක් තුළ සමාජ ආචාරධර්ම සහ සාරධර්ම පවතින බැවිනි. මෙය එකිනෙකින් වියුක්ත නොවන, සමපාත ද නොවන ප්‍රධාන පැතිකඩ දෙකකි.
        මාධ්‍ය නිදහස යන සංකල්පයේ සීමාව සනිටුහන් වන්නේ කොතන ද? මාධ්‍ය නිදහස යන සංකල්පය තුළ සමාජ නිදහස සුරැකේ ද? මේ නිසාම මෙයට ප්‍රතිවිරෝධී මාධ්‍ය මෙන්ම වෘත්තීය ස්වරූපයන් ද නිර්මාණය විය හැකි ය.

       මෙම ගෝලීය සමාජ ක්‍රමවේදය තුළ වාස්තවික වූ විඥානයකින් මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ ගොඩ නැගෙන සාකච්ඡා මෙන්ම එසේ නොවන දැනුම් ද පවතී. දැණුම යනු සිද්ධියේ ගැඹුරට යාමේ පදනම ගොඩ නැගෙන ස්ථානයයි. මාධ්‍ය ආචාර ධර්ම බිඳ වැටීම යනු ද සමාජය කියවීම සදහා ඉඩ සකසන තර්කයකි. ආචාර ධර්ම බිඳ වැටීම නිසා සමාජයට සිදු වන බලපෑම සහ එහි ගැටලුකාරී බව යන සමාජ කාරණා ඉස්මතු වේ. මාධ්‍යයේ සමාජ බලපෑම අති ප්‍රබල ය. මාධ්‍ය ආචාර ධර්ම සහ වගකීම් බිඳ වැටීම තුළ සමාජ ප්‍රගමන ක්‍රියාවලියට බද්ධ වන සමාජ පර්යාය බිඳ වැටීමට හැකි ය. මේ නිසා,
■ සමාජයේ ආරක්ෂාවට පවත්නා සිව්වන ආණ්ඩුවේ ක්‍රියාවලිය දුර්වල වේ.
■ මාධ්‍ය පිළිබඳ මහජන විශ්වාසය  බිඳ වැටේ.
■ මහජනතාවට සහ සමාජයට හානියක් සිදු වේ.
■ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වුවමනා බිඳ වැටේ.
   මානව හැසිරීම් රටාවන්හි ප්‍රධාන චරිතාංග දෙකක් දැකිය හැකි ය. එනම් හිංසාව සහ අන්‍යෝන්‍ය උපකාරය යි. ආචාර ධර්ම සහ සදාචාරාත්මක හැසිරීම ගැන සිතීම වැදගත් වන්නේ මුළු විශ්ව ප්‍රජාවම කායික සහ මානසික අපකාර නොඉවසන බැවිනි. මානව හිමිකම් කෙටුම්පත් වලට අදාළව හිමිව ඇති භාෂණයේ නිදහස සන්නිවේදකයාට ද හිමි වේ. මාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය පිළිබඳ ආරක්ෂාව තහවුරු වන්නේ ඔහු තුළ ගොඩ නැගෙන සමාජ ක්‍රියා, අන්තර්ක්‍රියා සහ මනෝ භාවාත්මක තත්ත්ව පිලිබඳ වාස්තවික දැනුම් පදනම්ව ය.
රූපවාහිනිය පරිණාමීය ප්‍රවේශයකට අවතීර්ණව ඇත්තා සේ, ඒ තුළින් සමාජ පරිණාමය ද සිදු වෙමින් පවතී. චන්ද්‍රිකා තාක්ෂණය මෙම සමාජ සහ භූගෝලීය සීමාවන් ද අතික්‍රමණය කරමින් බහුවිධ නාලිකා තුළින් මහා සමාජ වපසරියක පැතිරෙමින් පවතී. ඩිජිටෙල් තාක්ෂණය මෙහි තව ද ක්‍රම විද්‍යාත්මක ස්වරූපයන්හි වර්ධනය සිදු කොට තිබේ.

     21 වන සියවසේ අන්තර්ජාලය, රූපවාහිනිය සහ අනෙකුත් මාධ්‍යයන් ද අන්තර්ජාලයේ ග්‍රහණයට හසු කොට ගෙන තිබේ. අන්තර්ජාල ක්‍රමවේදයේ පහසුව සහ විමධ්‍යගත වීමේ ස්වරූපය අනුව එය ආචාර ධර්ම තුළ නියාමනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. නූතන මාධ්‍ය සහ නව මාධ්‍ය අතර නියාමන ක්‍රමවේදය තුළ ප්‍රබල වෙනස්කම් දක්නට ලැබේ. නව මාධ්‍යයෙහි නියාමනයේ අපහසුව සමාජයෙහි මානව හිමිකම් බිඳ වැටීමට ද හේතු වී තිබේ. ඒ අනුව නූතන මාධ්‍යයට වඩා නව මාධ්‍යයෙහි වාරණ ක්‍රියා ලෝකයෙහි සමහර රටවල ප්‍රබල කොට ඇත.

   පරිධියේ රටවල ජනමාධ්‍යයට ගෝලීය මාධ්‍ය සහ පාරජාතික මාධ්‍ය  බද්ධ වීමේ ප්‍රතිඵල ලෙස මාධ්‍ය ආචාර ධර්මයන්හි නව පරාමිත  ද ගොඩනැගී ඇති බැව් පැහැදිලි ය. එමෙන්ම ගෝලීයකරණය ප්‍රාදේශීය මාධ්‍ය සඳහා ප්‍රබලව බලපෑම් සිදු කොට ඇති බැව් පෙනේ. බොහෝ රටවල ඒ ඒ සමාජ සන්දර්භයට අනුගත ලෙස ආචාර ධර්ම ගොඩ නැගී තිබේ. මාධ්‍ය තුළ අදාළ ආචාර ධර්මීය ගොඩනැගීම් යුක්තිවේදයට අනුගත විය යුතු බැව් පෙන්වා දෙයි. අනෙක් අතට ගෝලීය මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ කතිකාව පිළිබඳ ගැටලූව ඇති වන්නේ එක් එක් රටවල සමාජ සංස්කෘතික සහ ආගමික තත්ත්වයන්ට අදාළව එය සිදු වන බැවිනි. ගෝලීය මාධ්‍ය ආචාර ධර්ම ගොඩනැංවීමේ දී වඩාත් තාර්කික මූලධර්ම පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. තව දුරටත් ප්‍රාදේශීය සංස්කෘතික සාධක මූලික වූ ආචාර ධර්ම පිළිබඳ චින්තනයක් මානව සමාජයෙහි ගොඩනගා ගෙන තිබේ. මෙම සංස්කෘතික සාධක නිසා බටහිර සහ බටහිර නොවන සංස්කෘතික පසුබිම් සැළකිල්ලට ගනිමින් නව ආචාර ධර්ම පිළිබඳව සිතිය හැකි ය.

     නූතන සහ නව මාධ්‍ය සැලසුම් කරන්නන් පාරිසරික උරුමය සහ අයිතිය  ගොඩ නැගෙන සේ මෙන්ම සාධාරණ පාරිසරික සහ සමාජ ක්‍රමවේදීය වෙනසකට උචිත බලපෑම් ද  සිදුවන සේ සිතීම සාධාරණ ය. එහෙත් නිදසුන් ලෙස රූපවාහිනිය මගින් ගොඩ නගනු ලබන ආහාර සංස්කෘතිය  තුළ ඉහත සාධාරණ ප්‍රවේශ දෙකම බිඳ වැටී තිබේ. දාරක ආහාර ක්‍රමවේද පමණක් නොව වැඩිහිටි ආහාර ක්‍රම සහ පෝෂණ රටාවන්ගේ වෙනස්කම් ද නිර්මාණය වීම වෙළඳ දැන්වීම්කරණයෙහි එක් ප්‍රතිඵලයකි. මෙය සමාජ වගකීම් සංකල්පයේ ද  බිඳ වැටීමකි. වර්තමාන මාධ්‍ය වෙළඳ දැන්වීම්කරණයෙහි චිකිත්සීය භාවිතාව  සමාජ සෞඛ්‍ය සංරක්ෂණීය ක්‍රමවේදයකට වඩා එහි ප්‍රතිපක්ෂ ක්‍රමවේදීය භාවිතාවන් උදෙසා දැනුම්හි භාවිත බවෙහි පෙළඹවීම ප්‍රබල කොට තිබේ.

      නූතන මාධ්‍ය, විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය මානව සංජානනය  වෙනස් කිරීමට සමත් වන අතරම එය රටක හෝ සමාජයක ආර්ථික සමාජ සංස්කෘතික ක්‍රියාවලියෙහි ප්‍රතිබිම්බය බවට ද පත් වේ. එමෙන්ම එය පුද්ගලයාට සමාජ අනුවර්තනීය දිශාව ද පෙන්වා දෙනු ලබයි. බොහෝ මාධ්‍ය පාරිභෝගිකයන් මාධ්‍යයේ සහ මාධ්‍ය සෞන්දර්ය කලාවේ ප්‍රබලත්වය හඳුනා ගෙන නොමැත. එහෙත් ප්‍රේක්ෂකත්වයෙහි මනෝ භාවාත්මක තත්ත්ව පිළිබඳ සාක්ෂරතාව නූතන සහ නව මාධ්‍ය තුළ පැහැදිලි වේ. නමුත් මෙම සියලූ සමාජ සෞන්දර්යාත්මක කාරණා ආචාර ධර්මීය සන්දර්භයකට අනුගත විය යුතු ය. මානව වර්ගයෙහි උදාරත්වය පැහැදිලි වන්නේ සදාචාරාත්මක රාමුව  තුළ ය. ආචාර ධර්ම සහ මනෝ භාවාත්මක ස්වරූප එකිනෙකින් වියුක්ත කොට මානව, මනෝ ගතික, මනෝ භාවාත්මක සහ සදාචාරාත්මක තත්ත්ව පිළිබඳ සාකච්ඡා කළ නොහැක. මාධ්‍ය ආචාර ධර්ම යනු ප්‍රායෝගික ආචාර ධර්ම වල  ප්‍රධාන කොටසකි. මාධ්‍යකරුවා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය ආචාර ධර්ම වන අතර එය යුද්ධය පිළිබඳ ජනමාධ්‍ය තුළින් ද පැහැදිලි වේ. ජනමාධ්‍යවේදියා යනු චිත්තාකර්ශනීය ප්‍රායෝගික වෘත්තිකයෙකි. වෘත්තීයත්වය යනු කෙටි කාලීනව නිර්මාණය කර ගත්තක් නොව දිගු කාලීන මනෝ භාවාත්මක තත්ත්වයන්ගේ  ප්‍රතිඵලයකි. මාධ්‍යවේදියාගේ කාර්යභාරය යනු වගකීම් සහගත එකකි. ඔහු පිළිබඳ සමාජ බලාපොරොත්තුව ඉතා ප්‍රබල ය.

    ආචාර ධර්ම නිරන්තර බද්ධ වෙන්නේ නිවැරදි, සාධාරණ, අපක්ෂපාතී, යුතුකම් ඉටු කරන, වගකම් සහිත ක්‍රමවේද සමග ය. මෙය දිගු කාලීන සමාජ සම්ප්‍රදායානුගත ක්‍රියාවලියකි. හිපොක්‍රටික්ගේ දිවුරුම තුළ සඳහන් වන්නේ ද යම් ක්‍රියාවකින් සමාජයට හානි සිදු නොවිය යුතු බවකි. මෙලෙස ජනමාධ්‍යවේදියා තුළින් ද සමාජ හානිය අවම විය යුතු අතර ප්‍රවෘත්ති ආවරණය තුළින් ද බලපෑමට ලක් වන්නන් පිළිබඳව සිතිය යුතු වේ. මාධ්‍යවේදීන් සමාජ ගැටලූ පිළිබඳ සත්‍ය සෙවීමට, නිදහස් ලෙස ක්‍රියාත්මක වීමට සහ මහජන සේවය සඳහා ආචාර ධර්මීයව බැඳී පවතී.සමහරුන්ගේ තර්කය වන්නේ ආචාර ධර්ම ඉගැන්විය නොහැකි බවයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ සමාජයෙන් සමාජයට වෙනස් වේ යන අරුත ද එහි ඇති බවට සත්‍යයකි. එමෙන්ම ආචාර ධර්මවලට අනුගත නොවීම සහ ආචාර ධර්ම සඳහා ප්‍රබල නැඹුරුව ද මානසික රෝග ලක්ෂණයක් බවට ද තර්කයකි. ආචාර ධර්ම පිළිබඳ හැඟීම යනු නිදහස පිළිබඳ හැඟීමකි. සෑම පුද්ගලයෙකුගේම මූලික ලක්ෂණය වන්නේ නිදහස සෙවීම ය. නිදහස පිළිබඳ ඉගෙනුම අපහසු වුව ද නිදහස සඳහා අවශ්‍ය ක්‍රමවේදී එළඹුම් පිළිබඳ ඉගෙනුම පහසු ය.

මෙගා ටෙලිනාට්‍ය හා ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය කලාවේ ආරම්භයෙන් සිදුු වූ බලපෑම.

            
         








        ඉන්දියානු මෙගා ටෙලිනාට්‍යයේ ආරම්භයට බලපෑ මූලික කරුණවන්නේ සෝප් ඔපෙරා නාට්‍යයි. රූපවාහිනිය ගෘහස්ත සහ ආදරවාදී මාධ්‍යයකි. ටෙලිනාට්‍යය රූපවාහිනී සංස්කෘතික කර්මාන්තයේ වඩාත්ම වැදගත් අංගයන්ගෙන් එකක් වන්නේ කාන්තාවන්ටය. "සෝප් ඔපෙරා” නාට්‍යය ඉන්දියානු ටෙලි නාට්‍යය ලෙස සිංහල භාෂාවෙන් අද විකාශනය වේ.ඒ අනුව ඉන්දීය මෙගා ටෙලිනාට්‍ය ද අයත්වන්නේ  මෙම සෝප් ඔපෙරා ගණයට වේ.  සබන් ඔපෙරා විසින් නියෝජනය කරන සමාජ පන්තිය දේශීය ටෙලි නාට්‍යය නිෂ්පාදනයේ ව්‍යාප්තියට මෙන්ම  පවුල් හා සමාජය කෙරෙහි බලපෑම්  කරන ලදී.  එහි දී පහත දැක්වෙන අංග තුළින්  සබන් ඔපෙරාවන්ගේ බලපෑම විශේෂ වේ. කථාවේ මාතෘකාව, පොලෝට් (යථාර්ථය සහ මිත්‍යාව), නළුවන් (චරිත),  ඇඳුමින් සැරසිලි, සංගීතය සහ තාක්ෂණය ඒ අතර වෙයි. 

         මිනිසාගේ මනසට සහ සිතුවිලි ධාරාවට බලපෑම් කිරීමේ බලය කලාව සතුව තිබේ. මනුෂ්‍ය වර්ගයාගේ සුභසෙත සඳහාත් මිනිස් ආත්මයන් තුළ සුන්දරත්වයේ ලොවක් නිමැවීම සඳහාත් මේ බලපෑම් කිරිමේ හැකියාව ප්‍රයෝජනයට ගන්නා නිර්මාණකරුවන්ට කලාකරුවෙකු යැයි කීමේ අයිතිය හිමි බව සිතමි.

       මෙගා නාට්‍යයන් නිෂ්පාදනය වීම ඇරඹුණේ ටෙලිනාට්‍ය කලාව කර්මාන්තයක් දක්වා අපගමනය වීමේ ප්‍රතිඵලයක් ලෙසය. කර්මාන්තයක් පදනම්වන්නේ වාණිජ පරමාර්ථ සාධනය කර ගැනීම මතය වුවද  කලාව උපදින්නේ අවශ්‍යතාවය අනුව ය. එහෙත් ධනයත් එය සමඟ එය වැනසී යයි. කලාවක් විය යුතු දෙය කර්මාන්තයක් බවට පත්කර ගත් පසු ඉන් ඉටු විය යුතු සමාජ පරමාර්ථ හා වගකීම නිසිලෙස සිදු නොවේ. මෙය මෙගා රැල්ලේ එක්තරා අවාසනාවකි.

    ඉන්දියාවෙ මෙන් නොව ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව යනු කුඩා කර්මාන්තයකි. එලෙස කලාකරුවන් බොහොමයකටම ඉන්දියාවේ මෙන් සුඛෝපබෝගී ජීවිත කරන්නට තරම් ආදායමක් නොලැබෙයි.
ලාංකේය මෙගා රැල්ලට මුල පිරූ ඉන්දීය මෙගා රැල්ලේ ආරම්භයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එදා වේල යාන්තමන් සරිකර ගත්තවුන් පවා 7-8 වෙද්දී රූප පෙට්ටිය වට කර ගත්තේ තම කුසගින්නට වඩා දැවෙන ප්‍රශ්න වූ ශාන්තිගේ ප්‍රගතිගේ ප්‍රවීණාගේ ප්‍රශ්නවලට කන්දෙන්නටය.  තම සමීපතයන්ගේ පීඩාවලට කඳුලක් නොහෙලන ඔවුන් මෙගා නාට්‍ය චරිතවල රංගනයන් හමුවේ කඳුලු ගංඟා හෙළන්නට වූහ. එයට කිව යුත්තේ සංවේදී බව කියා නොවේ. එය මායාවෙන් මිදීමේ නොහැකියාවයි මවා පෑමට වඩා සැබෑව වෙනස්බව හඳුනා ගැනීමේ නොහැකියාවයි.

      බොහෝ ඉන්දීය නාට්‍යයන් දුගී ඉන්දියානුවන්ට පෙන් වූයේ ධනවත් පවුල්වල මහාරජවරුන්ගේ කථාවන්ය. ඉන් සමාජයට ඉන්දියාවේ සැබෑ දිළිඳු මුහුණුවර සඟවා තැබුවා පමණක් නොව මිනිසුන්ට එවන් කාමභෝගී ජීවිත ලබා ගැනීමට උවමනාවන කිසි දිනෙක සැබෑ නොවන  සිහිනයක් ද ලබා දුණි. අවසානයේ ඉන්දියාවේ සිදු වූයේ හොරකම වැඩ වීමය. මංකොල්ල කෑම් ශීඝ්‍රයෙන් ඉහළ යෑම, සමාජ අපචාර හා දුෂණ බහුල වීමය.

        ඉන්දියාවෙන් ගුරුහරුකම් ලද ලංකාවේ ද තත්ත්වය මෙයට නොදෙවෙනිය. අද පෙන්වන මෙගා නාට්‍යයන්ගෙන් ලාංකේය පොදුජන ජීවිතය නියෝජනය සිදු වන්නේ කොපමණක ද? දුගී දුප්පත් ජනයා නියෝජනයවන්නේ කීයක ද? ඒ සැබෑ ශ්‍රී ලාංකේය ජීවන රටාවන් මෙගා තිරයේ පණ නැගෙන්නේ අල්ප වශයෙනි. 

Thursday, July 12, 2018

ජංගම දුරකථනය හා ශ්‍රී ලාංකීය තාරුණ්‍යය.

             
             

                     
                     


        

            වයස අවුරුද 18 ඉක්මවූ පසු ඕනෑම දරුවකු ඊළඟට පිවිසෙනුයේ තම ජීවතයේ වැදගත්ම අවධියක්වන තාරුණ්‍යයටයි. තම අනාගතය හා බැඳි ජීවිතයේ ඉතා සුවිශේෂීම තීන්දු තීරණවලට එළඹීමේ වැඩි සක්‍යතාවයක් පවතින මෙකී අවධිය ඉතා වැදගත්වන්නේ ද මේ නිසාවෙනි. තම දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා මධ්‍යයේ කුඩා කළ සිට වැඩෙන දරුවකු දැන් සිටින්නේ තනිව යමක් තේරුම් බේරුම් කර ගැනීමට හැකි අවධියකැයි සිතා මෙකී වයස් සීමාවේ දී තම දරුවා අතහැර දමා ඔවුන් කෙරෙහි නිසි රැකවරණයක් ලබා නොදීමෙන් වත්මන් තාරුණ්‍යය ඉතාමත් පිරිහුණු තත්වයකට පත්ව සිටී. දියුණුවන තාක්ෂණය ඒ නිසාවෙන් ඕනෑම දරුවෙකුට කුඩා කළ සිට ලැබෙන රැකවරණය ඔහුගේ ඇයගේ ජීවිතයේ මෙකී අවධියේ පෙරටත් වඩා ලබාදිය යුතු බවත් ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද අවබෝධ කර ගත යුතුය.

      වර්තමානයේ  ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ ඉතා සමීපතම මිතුරෙකු ලෙස ඔවුන් භාවිතා කරන තාක්ෂණික මෙවලම වන්නේ ජංගම දුරකථනයයි.  උදෑසන අවදි වූ විට නින්දට යන තෙක්ම ඔවුන් තම සියලු  සබඳතා ගොඩනගා ගන්නේ මෙම තාක්ෂණික මෙවලෙමනි. 

      නිවස තුළ විශ්ව විද්‍යාලය තුළ පමණක් නොව සමස්ත සමාජයේ තාරුණ්‍යය හුදකලා කිරමට ජංගම දුරකතනය හේතු සාධකයක්වන බව කිසිවෙකුට නොවැටහේ. නව පහසුකම ඔස්සේ ෆේස් බුක්, ඉන්ටර්නෙට් වැනි ජාලගත මාධ්‍යය සමඟ සම්බන්ධ වීමට මෙයින් ලබන හැකියාව නිසාවෙන් දන්නා පිරිස් පමණක් නොව නොදන්නා පිරිස් ද අපට හඳුනා ගැනීමට සබඳතා පැවැත්වීමට ඉඩකඩ සලසාලයි. බැලූ බැල්මට එහි වරදක් නැත. මිනිසා උපතින්ම සාමූහික සත්වයෙකු වූ නිසාවෙන් ඔහුට ජීවත් වීමට තමා තම පවුලට රටට පමණක් සීමා නොවී ලොව වටා  සිටින විවිධ පිරිස් ඇසුරු කරමින් විවිධාකාර අත්දැකීම තුළින් තම ජීවිතය පෝෂණයට හැකියාව උදා කර ගත හැකිය. නමුත් ගැටලුවවන්නේ එකී පිරිස කුමන මානසික මට්ටමවල, කුමන සමාජ තරාතිරමක දිවි ගෙවන අයද යන්න විශේෂිතව  හඳුනා ගැනීමට මෙම මාධ්‍යයන්ගේ පවතින නොහැකියාවයි. තමන් හොදින් දන්නා තම යහලු යෙහෙලියන්ට ඥාතීන්ට වඩා වර්තමාන තාරුණ්‍යය වඩාත් සමීපවන්නේ මෙකී  මාධ්‍යයෙන් ලංකරගන්නා දැන හඳුනගන්නා මිතුරු මිතුරියන්ට වීම ජංගම දුරකතනය හා තාරුණ්‍යය පිළිබඳ දැක්වීමේදී වැදගත් වූවකි. 

           ඔවුන් තම එදිනෙදා ජීවිතයේ දී තමාට ඇතිවන ගැටලුවලට විසඳුම් සෙවීමට පවා තෝරාගන්නේ තමා ළඟ සිටින තමා ඇසුරු කරන විශ්වාසවන්ත පිරිස නොව තමා කවදාවත් නොදැකපු හමුනොවුන පිරිස් වේ. එවැනි අය සමඟ ගනුදෙනු කිරී්මට යාමෙන් ලංකාව තුළ පමණක් නොව ලෝකය තුළ ද කෙතරම් තරුණ ජීවිත විනාශයට පත් වූයේ ද? 

        ඒ නිසාවෙන්න    ඕනෑම  තාක්ෂණික මාධ්‍යයක් පරිහරණය කිරීමේ දී අප සවිඤ්ඤාණික විය යුතුය. අප වටා ඇති ලෝකය අවබෝධකර ගත යුතුය. අප සංස්කෘතිය සම්ප්‍රදාය අවබෝධ කර ගත යුතුය.


Saturday, July 7, 2018

විදෙස් රැකියා හා ශ්‍රී ලාංකීය කාන්තාව

                      
                           






          මෙම ලිපිය ලිවීමට මා පෙළඹවූයේ මෑතකදී මා නැරඹූ රූපවාහිනී වැඩටහනකි. මෙය ශ්‍රී ලාංකිකයන්ට අලුත් මාතෘකාවක් නොවූව ද එදාට සේම අදටත් විසඳී නොමැති ගැටලුවකි. 

          සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික සමාජ සංස්කෘතිය තුළ කාන්තාව ගේ මුල්ලට ව හැදී වැඩුණත් දියුණුවන ලෝකයේ ජීවන අරගලය ජයගැනීමට කාන්තාවට ද විශාල සටහනක් කිරීමට සිදුව තිබේ. විදෙස් රැකියා යන මාතෘකාව කතිකාවට බඳුන් කිරිමට ආරම්භයේ සිටම පිරිමි පාර්ශවයට වඩා ඒ හා බැඳෙන්නේ කාන්තාව වීම සුවිශේෂත්වයකි. නමුත් ගැටලුව වන්නේ රැකියා සඳහා විදේශගතවන කාන්තාවන්ට තම රැකියාවම පමණක් සිදු කර ජීවත් වීමට ඇති අයිතිය එම රටවල සුරැකෙනවාද යන්නයි.

          උතුම් මව් පදවියට උරුමකම කියන ගැහැණිය   මවක් වූ විට තම දරුවන් පෝෂණය කරමින් තම ජීවිතය සාර්ථක කර ගැනීමට දහසකුත් බලාපොරොත්තු පොදි බැඳ ගනිමින් විදෙස් ගතවන්නේ තම ආත්මය විකුණමින් විදේශියන්ගේ කාමාෂා සන්සිඳවීමට නොව, තම දරුවන්ට පවුලට හොඳ හෙට දිනක් උදාකර දීමටය. නමුත් අවසානයේ ඇයට නැවත තම මව රටට පැමණිමටවත් ඉඩක් නොලැබෙන තරමට ඔවුන්ගේ ඉරණම වෙනස්වන්නේ කුමන හේතුවක් නිසාදැයි අප සොයා බැලිය යුතුය.

           අප දැන හෝ නොදැන මෙවන් අවාසනාවන්ත ඉරණමකට ශ්‍රී ලාංකික කාන්තාවන් කොපමණ ප්‍රමාණයක් ගොදුරු ව ඇති ද? නමුත් තවමත් එය අවධානයට ලක් නොවූ කරුණකි. මෑතකදී මා නැරඹූ රූපවාහිනී වැඩසටහක විවරණය වූයේ එවන් වූ ඛේදනීය කතා පුවතකි.

          පවුලේ තිබූ ආර්ථික දුෂ්කරතාව මැඩගැනීමේ අරමුණින් විදේශගතවූ එක්තරා කාන්තාවකට තමා රැකියාවෙහි නිරත වූ නිවෙසේ ස්වාමියාගේ ගොදුරක් බවට පත්වන්නට විය. බලාපොරොත්තු පොදි බැඳගනිමින් විදෙස්ගත වූ  ඇයට අවසන උරුම වූයේ ඛේදනීය තත්වයකි. අද වනවිට තම පවූලේ පිළිසරණක් පවා නොමැතිව දරුවන් රැක බලා ගැනීමට ඇයට සිදුව ඇත්තේ සිගමන් යැදීමටය. හිසට සෙවණක් හිතට නිවනක් සොයා විදේශගත වූ ඇයට නැවත තම මව් රටට පැමණීමට සිදුවූයේ ඒ සියලු බලාරොත්තු අහිමි කර ගනිමිනි.

          මෙය ඒවන් වූ තවත් එක් සිදුවීමක් පමණි ඒත් තවත් මෙවැනි සිදුවීම් කොපමණ සිදුවනවා ද? ඒ නිසා අප වරක් නොව දෙවරක් මේ පිළිබඳ සිතා බැලිය යුතුය.මෙවැනි සිදුවීම් නිසා ශ්‍රී ලාංකික කාන්තාව සුරක්ෂිත කිරීමට කුමන හෝ පියවරක් ගත යුතුමය. රජය මඟින් හෝ වැඩපිළිවෙළක් සැලසුම් කර අප රටෙන් විදේශ ගතවන කාන්තාවගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුය. නොඑසේ නම් ස්වයං රැකියා ආදිය හඳුන්වා දෙමින් ඇයට දිරියක් විය යුතුය.

        නැතිනම් දරුවන්ට මව්වරුන්, ස්වාමියන්ට බිරින්ඳෑවරුන්, ආදරණීය මවුවරුන්ට තම දියණිවරුන් ද අහිමි ව යනවා පමණක් නොව ශ්‍රී ලාංකික සමාජයේ කාන්තාව යන උදාර චරිතය තවකෙකුගේ ආශාවක් සංසිඳුවා ගැනීමට අලෙවිවන සිල්ලර භාණ්ඩයක් බවට පත්වනවා නිසැකය.

                                                  photo by: Tharika Sadamini